එංගලන්ත - පාකිස්තාන එක්දින තරගාවලිය : ජොනී බෙයාර්ස්ටෝ එංගලන්තයට ජය ගෙනෙයි

 ඡායාරූපය:

එංගලන්ත - පාකිස්තාන එක්දින තරගාවලිය : ජොනී බෙයාර්ස්ටෝ එංගලන්තයට ජය ගෙනෙයි

ජොනී බෙයාර්ස්ටෝ රැස් කළ 7 වැනි ශතකය වටා සිය ඉනිම ගොඩනැගූ එංගලන්ත පිතිකරුවෝ පාකිස්තානය සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් වූහ.

බ්‍රිස්ටල් හි දි පැවැති තරගයේ ලකුණු 359ක ඉලක්කයක් එංගලන්තයට ලැබුණු අතර එංගලන්ත පළමු කඩුල්ලේ සබඳතාවය වූයේ ලකුණු 159කි. ඒ සඳහා ජොනී බෙයාර්ස්ටෝ සහ ජේසන් රෝයි වැය කළේ පන්දු වාර 17.3ක් පමණි. ජයග්‍රහණයේ නියමුවා වූ බෙයාර්ස්ටෝ පන්දු 93කින් ලකුණු 128ක් රැස් කළේ හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් සමගිනි. රෝයි ලකුණු 76ක් රැස් කළේ පන්දු 55ක් තුළදීය. හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුළත් විය. ඉන් පසුව නායනක ජෝ රූට් පන්දු 36කින් ලකුණු 46ක් සහ බෙන් ස්ටොක්ස් පන්දු 38කින් ලකුනු 37ක් රැස් කිරමින් ජයග්‍රහණය කරා යන ගමන පහසු කළහ.

එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉමාම් උල් හක් සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 131කින් ලකුණු 151ක් රැස් කිරීමට සමත් විය. එය ඉමාම්ගේ 6 වැනි එක්දින ශතකයයි. අසීෆ් අලි ලකුණු 52ක් සහ හරිස් සොහෙල් ලකුණු 41ක් රැස් කරමින් පාකිස්තානුවන්ට ලකුණු 350 සීමාව පසුකර යෑමට සහාය වූහ.

ලකුණු සාරාංශය

පාකිස්තානය (පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී) 358

(ඉමාම් උල් හක් 151, අසීෆ් අලි 52, හරිස් සොහෙල් 41, ක්‍රිස් වෝක්ස් 4/67,ටිම් කරන් 2/74)

එංගලන්තය (පන්දුවාර 44.5කදී කඩුලු 4ක් දැවී) 359

(ජොනී බෙයාස්ටෝව් 128, ජේසන් රෝයි 76, මොයින් අලී නොදැවී 46, ජෝ රූට් 43, ජුනයිඩ් ඛාන් 1/57)

මාතෘකා