ලාලිත්‍යයෙන් පිරුණු යෞවනියන්ගේ හද බැඳි ක්‍රීඩාව බැඩ්මින්ටන්

 ඡායාරූපය:

ලාලිත්‍යයෙන් පිරුණු යෞවනියන්ගේ හද බැඳි ක්‍රීඩාව බැඩ්මින්ටන්

වොලිබෝල්, පාපන්දු, ක්‍රිකට් වැනි ක්‍රීඩාවන් සැලකෙන්නේ පිරිමි ක්‍රීඩා ලෙසිනුයි. මේ ක්‍රීඩාවලට කාන්තා අංශයක් තිබුණත් ඒවා සින්නක්කරවම ලියැවී ඇත්තේ පිරිමින් නමින්යැයි කිවහොත් එය වැරැද්දක් නොවෙයි. මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තාවන් නියැලෙද්දී එය කාන්තා ක්‍රිකට් යනුවෙන් හැඳින්වෙනවා. කාන්තා ක්‍රීඩා වශයෙන් සින්නක්කරව ලියැවී ඇති පිරිමින් ක්‍රීඩා කරන ක්‍රීඩාවන්ද ලෝකයේ පවතිනවා. දැල්පන්දු, බැඩ්මින්ටන්, ටෙනිස් ඒ අතර අපට ගත හැකියි. ඒත් පිරිමි දැල්පන්දු, පිරිමින් බැඩ්මින්ටන් යනුවෙන් විශේෂණ පද යොදනවා අපට දකින්නට ලැබෙන්නේ නෑ.

කාන්තා සහ පිරිමි යනුවෙන් ක්‍රීඩාව නොබෙදිය යුතුයැයි නූතන ලෝකයේ අදහස. නමුත් ක්‍රීඩාවෙන් ප්‍රකාශයවන ජවය, බලය, ලාලිත්‍ය, සෞන්දර්යය රඳාපවතින්නේ ඒ ක්‍රීඩාවේ යෙදෙන්නන් මත. කාන්තාවන්ට පාපන්දු ක්‍රීඩා කරන්න හැකිනමුත් පිරිමි පාපන්දු ක්‍රීඩාවේ ඇති ජවය, බලය කාන්තා පාපන්දු ක්‍රීඩාවේ දැකිය නොහැකියි. හැන්දෑවේ තුනට, හතරට බාලිකා පාසලක් අසළින් යද්දී මේ කාරණය වඩාත් තහවුරු කරගන්න පුළුවන්. කෙටි සායකින් සහ සුදු බැනියමකින් සැරසුණු, සුදු පාවහන් යුවලක් සහ කැප්තොප්පියක් පැළදූ නව යොවුන් බාලිකාවන් බැට්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන අයුරු ඒ වෙනුවට ඕනෑම කෙනෙකුට දැකගන්න පිළිවන්. එය ආශාවෙන් බලා සිටිය හැකි සොඳුරු දසුනක්. ක්‍රීඩා පිටිය කෙටි දැලකින් දෙකට බෙදා එළිමහනේ හෝ ගෘහස්ථ ක්‍රීඩාංගණයක බැඩ්මින්ටන් පිත්ත යොදාගනිමින්, බැඩ්මින්ටන් මල තමනගේ ප්‍රදේශයට නොවැටී ඉහළින් රඳවා ගන්න බාලිකාවන් දරන උත්සහය බලා සිටින්නන් තුළ ඇතිකරන්නෙ ප්‍රබෝධයක්. පිරිමි තරගකරුවන් මෙම ක්‍රීඩාවේ නිරතවුණද එය කාන්තා බැඩ්මින්ටන් ක්‍රීඩාව තරම් සිත් ඇදගන්නාසුලු නැතැයි කිවහැකියි. ඒ හැඩිදැඩි පිරිමි සිරුරෙන් බැඩ්මිටන් පිටිය මත බාලිකාවන් එළන විචිත්‍රත්වය එළාලිය නොහැකි නිසයි.

කාන්තා ලාලිත්‍යයට බද්ධවී ඇති මෙම ක්‍රීඩාව 1873දී පූනේ නගරයේ සිට බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් ග්ලොෂ්ටෂයර් ප්‍රාන්තයේ බැඩ්මින්ටන් නම් ස්ථානයේ ක්‍රීඩාකිරීම නිසා මේ ක්‍රීඩාව බැඩ්මින්ටන් ලෙසින් ප්‍රකටවී තිබෙනවා. වර්තමානයේ කාන්තා ලාලිත්‍යයට යටපත් වුණාට එය එකල ක්‍රීඩාකළ බව පිළිගන්නේ පිරිමින්. ඉපැරණි ග්‍රීසිය සහ ඊජිප්තුව ආශ්‍රිතව පැවැති කුඩා පන්දු පිත්තක් සහ පිහාටු පෙඳිත්තක් මගින් කළ ක්‍රීඩාවක් මගින් බැඩිමින්ටන් ක්‍රීඩාව ඇරඹුණු බව ප්‍රකාශකළත් බහුතරය පිළිගන්නේ එය ඉන්දියාවේ සිට පැමිණි ක්‍රීඩාවක් ලෙසයි.

මෙම ක්‍රීඩාව ලෝක පිළිගැනීම ඇතිකරන්නට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලය ආරම්භවන්නේ 1934 දියි. එහි සාමාජිකත්වය කැනඩාව, ඩෙන්මාර්කය, එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන රටවල් ආරම්භයේදීම ලබාගන්නවා. 2006 සැප්තැම්බර් 24 බැඩ්මින්ටන් ලෝක සම්මේලනය වශනේ එය වඩාත් විධිමත් ආයතනයක් බව පත්වීම සනිටුහන් කෙරුණා. වර්තමානය වනවිට ලෝකය පුරා රටවල් 176ක් මේ කියන බැඩ්මින්ටන් සම්මේලනයේ සාමාජිකත්වය ගෙන තිබෙනවා.

බැඩ්මින්ටන් වෙනුවෙන් විධිමත් නීති මාලාවක් ප්‍රථමයෙන් සකස් කර ඇත්තේ 1887 වසරේදීයි. එය Bath Badminton Club නම් සංගමය මගින් සිදුකර තිබෙනවා. නමුත් පිළිගත් නීති රීති සම්මත කරගන්නේ 1893 වසරේදී. ඒ එංගලන්ත බැඩ්මින්ටන් සංගමය මගිනුයි. ප්‍රථම වරට ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා මෙම ක්‍රීඩාව ඇතුළත්වන්නේ 1992 වසරේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදීයි.

බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් ලෝක මට්ටමේ තරගාවලියන් වශයෙන් පිරිමින්ගේ තෝමස් කුසලානයත්, කාන්තාවන්ගේ උබර් ශූරතාවත් සැලකිය හැකියි. අද වනවිට බැඩ්මින්ටන් ක්‍රීඩාව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහාත් ආසියානු ක්‍රීඩා උලෙළ සඳහාත් එක්කර ඇති ක්‍රීඩාවක්.

මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීයි. මෙරට ඇතිවූ පළමු බැඩ්මින්ටන් ක්‍රීඩා සංගමය වන්නේ 1909 වසරේදී ඇරඹි “Dimbulla” ක්‍රීඩා සමාජයයි. වත්මනේ මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව නියාමනය කරන ‘ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය’ ස්ථාපනය වුණේ 1950 වසරේදියි. ජාතික කාන්තා හා පිරිමි ශූරතා පවත්වා තිබෙන්නේ 1952 වසරේදීයි. පාසල් බැඩිමින්ටන් ක්‍රීඩාව 1970 වසරේදී ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය එන්.එල්.ද සිල්වා සභාපතිත්වය යටතේත් පාසල් බැඩ්මින්ටන් සංගමය ආරියාදාස සිල්වා යටතේත් ආරම්භ කර තිබෙනවා.

ලෝකයේ පිති වැනි උපකරණයක් යොදාගනිමින් කරන වේගවත්ම ක්‍රීඩාව වශයෙන් සැලකෙන්නේද බැඩ්මින්ටන් ක්‍රීඩාවය. මෙම ක්‍රීඩාව ගෘහස්ථ සහ එළිමහන් යන දෙයාකාරයෙන්ම පැවැත්වේ. මෙම ක්‍රීඩා පිටියේ විශාලත්වය වනුයේ 13.40m x 6.10 m (44’x20’) කි. එය සෘජුකෝනාශ්‍රාකාර හැඩයකින් යුක්තය. ක්‍රීඩා පිටිය මතුපිට සිට වහලය දක්වා උස මීටර් 12ක් විය යුතුවේ. ඇතැම් අවස්ථාවලදී එය මීටර් 9ක් ද විය හැකිය. එම ක්‍රීඩාව වෙනුවෙන් යොදාගන්නා දැල සවිකරන කණුවක උස මීටර් 1.55ක් විය යුතුය. අදාළ උසට අනුරූපව දැළ සකස්කර තිබිය යුතුය. ක්‍රීඩාවේදී යොදාගන්නා මල වැනි උපාංගය හඳුන්වන්නේ ෂටල්කොක් යනුවෙනි. එය පිහාටු සහ නයිලෝන් වැනි කෘත්‍රිම ප්ලාස්ටික් ද්‍රව්‍යයක් යොදාගනිමින් සකසා තිබේ. පිහාටු පන්දුවක පිහාටු 16ක් ඇති අතර එහි බර 4.74 සිට 5.50 දක්වා වේ. මෙම පිහාටු වෙනුවෙන් පාත්ත පිහාටු යොදාගන්නා අතර සාමාන්‍ය යෙන් ඒ කොටසට අයත් නොවන තරග වෙනුවෙන් යොදාගන්නේ නයිලෝන් වලින් නිර්මාණය කළ පිහාටු පන්දුවේ. බැඩ්මින්ටන් පිත්ත ලී ඇලුමිනයම් මිශ්‍ර සැහැල්ලු ලෝහ සහ නයිලෝන් නූල් යොදාගනිමින් සකස් කරනු ලැබේ. පිත්තේ දිග මිලිමීටර් 689කි. එහි පළල මිලිමීටර් 230ක් වේ.

කාන්තා සුන්දරත්වය ඉස්මතු වන ක්‍රීඩාවක් වුවත් බැඩ්මින්ටන් කාන්තා කේවල, යුගල, පිරිමි කේවල, යුගල හා මිශ්‍ර ඒකල හා යුගල වශයෙන් අදියර ගණනාවක් යටතේ පැවැත්වේ. එක් තරග වටයක් ලකුණු 21කින් අවසන් වෙයි. පාර්ශ්ව දෙක අතර ලකුණු 20ක් ගෙන සමවූ විට එක් පිලක් අභිබවා පළමුවෙන්ම ලකුණු 2ක් ලබාගන්නා කණ්ඩායමට ජයහිමිකරදීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එහෙත් එය දීර්ඝ කළ හැක්කේ ලකුණු 30 දක්වා පමණක්වීමද විශේෂිතය. ලකුණු තත්ත්වය 29ක් වශයෙන් සමවී ඇති විට 30 වැනි ලකුණ ලබාගන්නා කණ්ඩායම ජයග්‍රාහී කණ්ඩායම බවට සැලකෙයි. තරගයක තරගවාර දෙකක් අතර විනාඩි දෙකක විවේකයක් හිමිවන අතර එක් පිලක් ලකුණු 11ක් ලබාගත් පසුවද විනාඩියක විවේක කාලයක් හිමිවීම තරග නීති රීති අතර වේ.

මෙම ක්‍රීඩාවේ නිරත විය හැක්කේ පිරිනැමීම් සහ ප්‍රහාරයන් මගිනි. ආකාර හතරක පිරිනැමීම් දැකිය හැකි අතර Low Service, Drive Service, Flick Service, High Service යනුකවන් ඒවා හැඳින්වේ. මූලික පහරවල්ද දෙයාකාරයකින් යුක්තය. ඉන් පළමු වැන්න හිසට උඩින් ගසන සහ යටි අත්පහර වශයෙන් බෙදා දැක්විය හැකිය. තමාට හුරු පැත්ත සහ නුහුරු පැත්තට අනුව හිසට උඩින් ගසන පහර Clear, Fast Clear, Drop/Cut Short, Smash, Lob යෙ ආකාර 5 කින්ද යුක්තය. ජාත්‍යන්තර තරගයක් විනිශ්චය සඳහා ප්‍රධාන විනිසුරුට අමතරව පිරිනැමීමේ විනිසුරු සහ අමතර රේඛා විනිසුරුවන් 10 දෙනෙකු සහභාගිවේ. ක්‍රීඩකයන්ට සාපේක්ෂව විශාල විනිසුරුවන් ප්‍රමාණයක් මෙම ක්‍රීඩාව සමඟ එක්වීම තවත් සුවිශේෂත්වයකි.

ක්‍රීඩාව මගින් පුද්ගලයකුගේ ජීවිතයට ලැබෙන්නේ අමිල වටිනාකමකි. ශාරීරිකව මෙන්ම මානසික වශයෙන්ද ක්‍රීඩකයකු වෙනස් කළ හැකිය. අලසබව, කෝපය, නොඉවසිල්ල බිඳ දැමීම, සමගිය ගොඩනැංවීම, විඳ දරාගැනීමට හුරු කිරීම බැඩ්මින්ටන් ක්‍රීඩාව සතුවවේ. කාන්තාවන් විශේෂයෙන් තරුණියන් තුළ මනා පෞරුෂයක් ගොඩනැංවීමේ හැකියාවක් බැඩ්මින්ටන් ක්‍රීඩාව තුළ ඇත. ඔවුන් තුළ මනා පෞරුෂයක් ගොඩනැංවීමේදීද මෙම ක්‍රීඩාව තුළින් ලැබෙනුයේ විශාල පිටිවහලකි. මෙම ක්‍රීඩාවට බාලිකාවන් වැඩි වශයෙන් එළඹීමට ඉවහල්වන හේතුවක් ලෙස එළිමහනේ සහ අභ්‍යන්තරයේ ක්‍රීඩා කිරීම දැක්විය හැකිය. සමේ වර්ණය අවපැහැගැන්වේයැයි බියෙන් සිටින තරුණියන්ට ගෘහස්ථ වශයෙන් මෙම ක්‍රීඩාවේ නියැලීමට හැකිවීම ඊට වැඩිවශයෙන් ඉවහල්ව ඇත. මෙම ක්‍රීඩාව මගින් හැඩැති සිරුරක් පවත්වාගෙන යා හැකි හෙයින් එහි නියැලීමටද තරුණියන් වැඩි කැමැත්තක් දක්වනවා. රැකියා වෙනුවෙන් තරුණියන් තෝරාගැනීමේදී ක්‍රීඩාවේ නිරතව සිටීම වඩා වැදගත් සිද්ධියක්. බැඩ්මින්ටන් ක්‍රීඩාකර තිබීම බැංකු වැනි වාණිජ ආයතන, ගුවන් සමාගම්, පරිගණක ආශ්‍රිත සමාගම්වල ඉහළ තලයේ රැකියා ලබාගැනීමේදී විශේෂ කර සලකන සුදුසකමක් යනුවෙන්ද හැඳින්විය හැකිය. විදේශගත රැකියාවලට යොමුවීමේදී මේ ක්‍රීඩාවේ නිරතවූ තරුණියන්ට ලැබෙන්නේ විශේෂ අවස්ථාවකි.

පිහාටු පන්දු වැනි නමක් යෝජනා කළත් තාමත් නිවැරදි සිංහල නමක් නොමැති බැඩ්මින්ටන් ක්‍රීඩාව සතුව ඇත්තේ ස්ත්‍රී සෞන්දර්යයකි. පිරිමින්ට උචිත වුවද සුන්දරත්වය දැකිය හැක්කේ කාන්තාවන් මෙහි නියැලෙන විටදීයැයි දැක්විය හැකිය. බැඩ්මින්ටන් ක්‍රීඩාව තවමත් රසවිඳ නොමැතිනම් ළඟදීම එය අත්හදා බලා අනුදැනුමෙන්ම තහවුරු කරගන්නැයි කියන්නේ එය එතරම්ම සුන්දර කාන්තා ලාලිත්‍ය මවන ක්‍රීඩාවක් වන බැවිනි.

මාතෘකා