ආම්ස්ට්‍රෝං මට තවමත් වීරයකු වන්නේ ඇයි? ශ්‍රීමත් බ්‍රැඩ්ලි විගින්ස්ගෙන් පැහැදිලි කිරීමක්

 ඡායාරූපය:

ආම්ස්ට්‍රෝං මට තවමත් වීරයකු වන්නේ ඇයි? ශ්‍රීමත් බ්‍රැඩ්ලි විගින්ස්ගෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රීමත් බ්‍රැඩ්ලි මාර්ක් විගින්ස් බ්‍රිතාන්‍ය බිහිකළ විශිෂ්ට පාපැදි ධාවකයෙකි. මාර්ග ධාවනය මෙන්ම ධාවන පථ පාපැදි ක්‍රීඩාවේදී ඔහු විශිෂ්ට දක්ෂතා දක්වා ඇති අතර ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් එකම බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා ලෙසින් සැලකෙන්නේද ඔහුය. ධාවන පථ පාපැදි ක්‍රීඩාවෙන් ආරම්භ කළ ඔහුගේ පාපැදි ක්‍රීඩා ජීවිතය මාර්ග ධාවන තරග වෙනුවෙන් පෙරළා ගත්තේය. ඔලිම්පික් සහ ලෝක ශූරතා තරගාවලි ජයගත් ලොව එකම පාපැදි ක්‍රීඩකයා ලෙසින්ද ඔහු සැලකේ. බ්‍රිතාන්‍ය රැජිණයගෙන් ශ්‍රීමත් නාමයෙන් පුදලද ඔහු මේ වනවිට සිය පාපැදි ක්‍රීඩාවෙන් සමුගෙන සිටී.

ඕස්ට්‍රේලියානු ජාතික පාපැදි ශූරයකු වූ ගැරී විගින්ස් සහ බ්‍රිතාන්‍ය ජාතික මව වන ගෙන්ට් විගින්ස් ට දාව බෙල්ජියමේ උපත ලද බ්‍රැඩ්ලි විගින්ස් වයස අවුරුදු 2 සිට බ්‍රිතාන්‍ය යේ හැදී වැඩුණේය. පිය උරුමයෙන් පාපැදි ක්‍රීඩාවට පිවිසි ඔහු සිය වෘත්තීය පාපැදි ක්‍රීඩාවෙන් සමුගැනීම නිවේදනය කළේ පසුගිය 2016 වසරේදීය.

‘මම දන්නවා මගේ තීරණය ගැන කිසිවෙක් සතුටු නොවන බව. තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනා ලැබූ ලාන්ස් ආම්ස්ට්‍රෝං මගේ පාපැදි වීරයෙක් කියන එකට කිසිවෙක් කැමැති නැහැ. ඒක බොහෝදෙනෙකු අතර ජනප්‍රිය නොවෙන ප්‍රකාශයක් බව මට විශ්වාසයි’ යැයි ශ්‍රීමත් බ්‍රැඩ්ලි විගින්ස් පවසයි. ඔහු තම නවතම කෘතිය රචනා කරමින් පවසා ඇත්තේ තම පාපැදි දිවියට වඩාත් බලපෑම් කළ, දෘෂ්ඨිගත ක්‍රීඩකයකු වශයෙන් ලාන්ස් ආම්ස්ට්‍රෝං හැඳින්විය හැකි බවයි.

ඔලිම්පික් තරග ඉතිහාසයේ පස්වරක් රන් පදක්කම් දිනා ඇති බ්‍රැඩ්ලි ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් පළමු එංගලන්ත ක්‍රීඩකයා බවට පත්වූවේය. ‘ඔහුත් එක්ක මට සම්බන්ධතාවක් තිබුණා. මට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙම දෙයක් නොතිබුණා යැයි කියන්න මට නොහැකියි’ ඔහු පවසා තිබේ.

තිස් අට හැවිරිදි විගින්ස් සිය නවතම කෘතිය මගින් තම පාපැදි ජීවිතයට බලපෑම් කළ පුද්ගලයන් 21 දෙනෙකු ගැන සඳහන් කර ඇත. පිළිකා රෝගී තත්ත්වයෙන් මිදුණු ලාන්ස් ආම්ස්ට්‍රෝං 1999 සිට 2005 වසර දක්වා ප්‍රංශ පාපැදි සවාරිය ජයගැනීමට හැකියාව ලැබී ඇත. ඇමරිකා එක්සත් ජනපද තහනම් උත්තේජක මධ්‍යස්ථානය විසින් ආම්ස්ට්‍රෝංගේ ජයග්‍රහණ නවතා දමමින් ඔහුට පූර්ණ කාලීන පාපැදි තරග තහනමක් පැනවූයේ 2012 වසරේදීය.

දීර්ඝ කාලයක් තිස්සේ ලාන්ස් ආම්ස්ට්‍රෝං තමන්ට එල්ලවූ තහනම් උත්තේජක චෝදනා ප්‍රතික්ෂේප කළ අතර 2013 වසරේ ඔෆාර වින්ෆ්‍රි සමඟ පැවැත්වූ රූපවාහිනී සාකච්ඡාවකදී එවැනි උත්තේජක ලබාගත් බව පිළිගෙන තිබුණේය. මෙම තොරතුර අනාවරණයවීමෙන් පසු ‘ද ටයිම්ස්‘ පුවත්පත ශීර්ෂ පාඨයක් යොදමින් ප්‍රකාශ කළේ ‘අමාස්ට්‍රෝං පාපැදි ලෝකය පුදුම කළා’ යනුවෙනි.

ඩේලි මේල් පුවත්පත ප්‍රකාශ කළේ ‘තහනම් උත්තේජක වංචාකාර ආම්ස්ට්‍රෝං උණුසුමින් පිළින්නවා’ ලෙසය.

මෙවැනි තත්ත්වයක් තුළ විගින්ස් පවසා සිටිනුයේ තමන්ට නම් ආම්ස්ට්‍රෝං සම්බන්ධයෙන් පවතින පැහැදිලි කිරීම තහනම් උත්තේජක භාවිත කිරීම පිළිබඳ පිළිගැනීමක් නොවන බවයි. තමන්ට ආම්ස්ට්‍රෝංගේ චරිතය පාපැදි ක්‍රීඩාවේදී ඔහු දැක්වූ ධෛර්යය ඊට ඉවහල්වූ බවයි.

‘ලාන්ස්ගේ නීති විරෝධී ක්‍රියාව මම එක මිනිත්තුවකදීවත් අනුමත කරන්නෙ නෑ’ විගින්ස් සිය කෘතියේ ප්‍රකාශ කර තිබේ. ‘මට දැනෙන ආකාරය වෙනත් කිසිවකු එකඟවන්නේද කියා මා අසා නැහැ. නමුත් යමෙක් පිළිබඳ ඔබට දැනෙන ආකාරය වෙනස් කරන්නට නොහැකියි. අවසානයේදී අපි සියලු දෙනාම මිනිස්සු. යමෙක් මම හිතන හැටි මගෙන් අහනවා නම් ඒ ගැන කියන්න සූදානම්. මට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. මම කිසිම කණ්ඩායමකත් නැහැ. කොහොම නමුත් මම හිතන විධිහට හැමකෙනාම කැමති වෙන්න අවශ්‍යයත් නැහැ’ ඔහු පවසයි.

මෙම කෘතිය තුළින් ප්‍රංශ පාපැදි තරගාවලියේ පියා ලෙසින් සැලකෙන හෙන්රි ඩෙස්ග්‍රේන්ජ් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත. එ් පළමු වරට ප්‍රංශ පාපැදි සවාරිය සංවිධානය කිරීම පිළිබඳවය. එමගින් සැබෑ ජයග්‍රාහකයකු සොයාගැනීමට හැකියාව උදාවන බව ඔහු විශ්වාස කළ බව විගින්ස් පවසයි. මෙම තරගය හඳුන්වාදීම මගින් ඔහු අපේක්ෂා කළේ සුපිරි ක්‍රීඩකයකු තෝරාගැනීම මිස හුදෙක් ප්‍රතිවාදීන් පරාජය කරන ක්‍රීඩකයකු සොයාගැනීම නොවන බව විගින්ස්ගේ අදහසය. ඔහු ඒ සම්බන්ධයෙන් සිය නවතම කෘතියේ ලියා ඇත. ‘ඒක පාපැදි ක්‍රීඩාවේ දැඩි මතවාදයක්. ඒවගේම ප්‍රංශ එකක්. ප්‍රංශ සවාරිය ජය ගන්නා පුද්ගලයන් කොතරම් ආයාසයෙන්, පීඩනයෙන්, පුද්ගල සම්බන්ධතා දුරස් කරගනිමින් අත්පත්කරග යුත්තක්ද යන්න එමගින් දැක්වෙනවා.

ලාන්ස් ආම්ස්ට්‍රෝං ගැන උත්තේජක ප්‍රශ්නයක් තිබුණත් ඔහු පිළිකාවක් වැළඳී තිබීයදී එය අභිබවමින් දැක්වූ දක්ෂතා අගය කළ යුතුයි. ඔහු වේගවත් තරග ඉසව් සහ කාල ගණනය කරන ඉසව්වන්හි ජයගෙන තිබෙනවා. ලාන්ස් පාපැදි ප්‍රේක්ෂකයෝ යළි ක්‍රීඩාව වෙත රැගෙන ආවා. ජයග්‍රහණය හිමිවනතුරු ඔහු දුෂ්කර ගමනක ගියා. මේ සියලු කාරණා වසර හතක් පුරා ඔහුට ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කරන්න හේතු පාදකවී තිබෙනවා. එක් තරගයක් ජයගන්නවා කියන්නේ කොයිතරම් අසීරු කාරණයක් ද කියලා සලකද්දී තරගාවලි හතක් ජයගැනීම ගැන සලකද්දී එය ලෙහෙසියෙන් තැකිය හැකිද... යැයි විගින්ස් ප්‍රශ්න කරයි.

ප්‍රංශ පාපැදි සවාරිය සලකද්දී ලාන්ස් ආම්ස්ට්‍රෝං නමැති පාපැදි ක්‍රීඩකයා එහි එන සැබෑ වීරයා බව සිය කෘතිය මගින් ඔහු හඳුන්වා දී ඇත. ‘මට හිතෙන්නේ ආම්ස්ට්‍රෝං එහි සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලබාදීලා තිබෙන බවයි. පෞරුෂය අතින් පමණක් නොවෙයි ඔහුගේ චරිතය තුළිනුත් ඔහු ඒ දේ ලබාදී තිබෙනවා. ඉතින් මම එය තවදුරටත් පැහැදිලි කරන්නේ කොහොමද? ඒත් එය නොකිය යුතු තැනක මම ඉන්නා බවක් මම හිතන්නේ නෑ’ විගින්ස් පවසා ඇත.

මාතෘකා