1999 ලෝක කුසලානය : දෙවැනි වරටත් කුසලානය ඔස්ට්‍රේලියානුවන්ට

 ඡායාරූපය:

1999 ලෝක කුසලානය : දෙවැනි වරටත් කුසලානය ඔස්ට්‍රේලියානුවන්ට

හත් වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැතියේ එංගලන්තයේදීය. ඒ අනුව තෙවැනි වතාවටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකයන් වීමට එංගලන්තයට හැකි විය. මැයි 14 වැනිදා සිට ජුනි 20 වැනිදා දක්වා පැවැති තරගාවලියේ ප්‍රධාන සත්කාරකයන් වුවත් නෙදර්ලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සයේද තරග කිහිපයක් පැවැත්විණි. තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වෙන නමුත් 1996 තරගාවලියෙන් වසර තුනකට පසුව මෙම තරගාවලිය පැවැත්වීම විශේෂත්වයකි. 1987 සිව්වෙනි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව පස්වැනි ලෝක කුසලානය පැවැතියේ 1992දී වසර පහකට පසුවය. එම තරගාවලි දෙක පැවැත්වීමට වැඩිපුර ගතවුණු වසරක කාලය නැවත අඩුකරමින් හත්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1999දි පැවැත්විණි.

තරගාවලිය සඳහා පසුගියවර මෙන්ම රටවල් 12ක් එක් විය. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කෙදෙව්, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් ටෙස්ට් වරම් හිමි රටවල් ලෙසද, 1997 අයි.සී.සී. ශූරතාව හිමිකර ගත් බංග්ලාදේශය සහ එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකර ගත් කෙන්යාව සහ නෙදර්ලන්තයද තරගාවලිය සඳහා ඉදිරිපත් විය.

1992 තරගාවලියේ ක්‍රියා පිළිවෙල ඉදිරියට ගෙන යමින් දිවා රාත්‍රී තරග, සුදු පැහැති පන්දුව, වර්ණ ඇඳුම්, කළු දර්ශන තිරය සහිතව මෙවර තරගාවලියද ආරම්භ විය. එංගලන්තයේ ක්‍රීඩාංගණ 17ක් තරගාවලිය සඳහා විවෘත විය. නෙදර්ලන්තය, ස්කොට්ලන්තය, වේල්ස් සහ අයර්ලන්තයේ එක් ක්‍රීඩාංගණය බැගින් තරග සඳහා වෙන් විය.

ඒ කාණ්ඩයෙන් එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව තතරගාවලියට එක් වූ අතර ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය බී කාණ්ඩයෙන් තරග වැදුණි.

සුපිරි හයදෙනාගේ වටය

තරගාවලියේ පළමු වටය අවසන් වන විට ඒ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ සිම්බාබ්වේ පළමු ස්ථාන තුන හිමිකර ගනිමින් සුපිරි හයදෛනාගේ වටයට සුදුසුකම් ලැබීය. එංගලන්ත ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසි විය. සිම්බාබ්වේ පිල පළමු වරට ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන් ඉදිරියට පය තැබීය. බී කාණ්ඩයෙන් පාකිස්තානය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සුපිරි හය දෙනාගේ වටයට පිවිස සිටියහ.

සහභාගිිවූ තරග 3ම පරාජය වූ සිම්බාබ්වේ සහ එක් තරගයක් පමණක් ජයගත් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අසමත් විය. ඔස්ට්‍රේලියාව සුපිරි හයදෙනාගේ වටයේ තරග 3ම ජයගැනීමට සමත් විය. ඔවුන්ට අමතරව දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට එක් විය.

අවසන් පූර්ව තරග

පළමු අවසන් පූර්ව තරගය ජුනි 16 වැනිදා මැන්චෙස්ටර් හි ඔල්ඩ්ට්‍රැෆර්ඩ් හි දී ආරම්භ විය. කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. එකදු නවසීලන්ත පිතිකරුවෙක් හෝ අර්ධ ශතකයක් වාර්තා කිරීමට අපෙහොසත්වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ රොජර් ට්වෝස්ය. ට්වෝස් ලකුණු 46ක් රැස් කළේ පන්දු 83කිණි. ක්‍රිස් කෙයානස් පන්දු 48කින් නොදැවී ලකුණු 44ක් ලබාගත් අතර නායක ස්ටීවන් ෆ්ලෙමිංග් ද ලකුණු 41ක් සිය පිලට එක් කිරීමට සමත් විය.

ලකුණු 242ක ඉලක්කය හඹා යෑමේදී ඉතාම පහසුවෙන් නවසීලන්ත පන්දුයවන්නන්ගේ පාලනය සිය අණසකට යටත්කර ගත් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාවූ සයිඩ් අන්වර් සහ වජහතුල්ලා වස්ති පළමු කඩුල්ල වෙනුවෛන් ලකුනු 185ක් එකක් කිරීමට සමත් වූහ. වස්ති එක් හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් පන්දු 123කදී ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. අන්වර් නොදැවී ලකුණු 113කක් රැස් කරමින් ජයග්‍රහණය දක්වාම කඩුල්ලේ රැඳී සිටියේය. අවසානයේ පාකිස්තානය කඩුලු 9ක පහසු ජයක් ලබමින් දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට එක් විය.

දෙවැනි අවසන් පූර්ව තරගය බර්මිංහැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ජුනි 17 වැනිදා පැවැතියේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතරයි. දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනයෙන් ඔස්ට්‍රේලියාව මුලින්ම පන්දුවට පහරදුන් අතර පන්දුවාර 49.2කදී සියලු දෙනාම ලකුණු 213කට දැවී ගියහ. නායක ස්ටීව් වෝ ලකුණු 56ක් සිය ඉනිමට එක් කළ අතර මයිකල් බෙවන් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 65ක් රැස්කර ගෙන සිටියදීය. ඔසට්‍ර්ලියාවේ අවසන් කඩුලු 4 ලකුණු 6ක් තුල බිඳ දැමීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. ෂොන් පොලොක් ලකුණු 36කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය. ඇලන් ඩොනල්ඩ් කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 32ක් ලබා දීමෙනි.

ජැක් කාලිස් ලකුණු 52ක දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් එක් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. ජොන්ටි රෝඩ්ස්ද ලකුණු 43ක් රැස් කිරීමට සමත් විය. දකුණු අප්‍රිකානුවන්ගේ 9 වැනි කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 198දි බිඳ වැටුණි. අවසන් පන්දුවාරයේදී ලකකුණු 9ක් ලබා ගැනීමේ ඉලක්කය දකුණු අප්‍රිිකානුවන්ට එල්ල විය. 1996 අවසන් පූර්ව තරගයේදී මෙන්ම අවසන් පන්දුවාරය යැවීමේ වගකීම පැවරුණේ ඩේමියන් ෆ්ලෙමිංග්ටය. පිතිකරුවා වූයේ ලාන්ස් ක්ලූස්නර්ය. පළමු පන්දු දෙකටම හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු සංඛ්‍යාව සම කිරීමට ක්ලූස්නර් සමත් විය. එහෙත් ඊළඟ පන්දු දෙක තුලදී ජයග්‍රාහී ලකුණු ලබා ගැනීමට ක්ලූස්නර්ට නොහැකි විය. පස් වැනි පන්දුවෙදී ලකුණක් ලබා ගැනීමට දිව ගිය ඇලන් ඩොනල්ඩ් දුවද්දී දැවී යාමත් සමගම පන්දු 16කින් නොදැවී ලකුණු 31ක් රැස් කළ ක්ලූස්නර්ගේ උත්සාහය අපතේ යවමින් තරගය අවසන් වූයේ ලකුණු සම වීමෙනි. කණ්ඩායම් දෙක තරගාවලියේ මුණ ගැසුණු කළින් තරගයේ විසඳුම අනුව මෙම තරගයේ ජයග්‍රහණය තීරණය විය. සුපිරි හයදෙනාගේ වටයේ තරගය ඔස්ට්‍රේලියාව ජයගෙන තිබූ බැවින් අවසන් මහා තරගයට සුදුසකම් ලැබුවේ ඔස්ට්‍රේලියාවයි.

අවසන් තරගය

අවසන් තරගය ජුනි 20 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය යන දෙපිලම මෙවර ක්‍රීඩාංගණයට අවතීර්ණ වූයේ දෙවැනි වරටත් ලෝක කුසලානය දිනා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයෙනි. ස්ටීව් වෝ මෙහෙයවූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමන්විත වූයේ මාක් වෝ, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ඩැරල් ලීමන්, රිකී පොන්ටිං, මයිකල් බෙවන්, ටොම් මූඩි, ෂේන් වෝන්, පෝල් රයිෆල්, ග්ලේන් මැග්ග්‍රාත් සහ ඩේමියන් ෆ්ලෙමිංග් ගෙනි.

පාකිස්තාන කණ්ඩායමේ නායකයා වූයේ වසීම් අක්‍රම්ය. සයිඩ් අන්වර්, වජහතුල්ලා වස්ති, ෂයිඩ් අෆ්රිඩි, ඉජාස් අහ්මඩ්, මොයින් ඛාන්, ඉන්සමාම් උල් හක්, අබ්දුල් රසාක්, අසාර් මහමුඩ්, සක්ලේන් මුෂ්ටාක් සහ ෂොයිබ් අක්තාර් සෙසු ක්‍රීඩකයෝ වූහ.

අවසන් තරගයට පිවිසීමේදී පාකිස්ථානය සතු වාසිය වූයේ දෙපිල අතර පළමු වටයේ පැවැති තරගයේදී ඔවුන් ජය ලැබීමයි. එසේම 1992 ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ සිටි ඉජාස් අහ්මඩ්, ඉන්සමාම් උල් හක් සහ මොයින් ඛාන් තමන් සමග සිටීමද පාකිස්තානු නායකයාට අමතර වාසියක් විය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායක වසීම් අක්‍රම් පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය. එහෙත් බලාපොරොත්තු වූ පිති ප්‍රහාරය දියත් කිරීමට පාකිස්තානුවන්ට නොහැකි විය. සියලුම පිතිකරුවන් පීඩනයට පත් කරමින් පන්දු යැවීමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ. ආරම්භක පිතිකරුවන් වූ සයිඩ් අන්වර් ලකුණු 15කට සහ වජහතුල්ලා වස්ති එක ලකුණකට දැවී ගියහ. පාකිස්තානුවන්ගේ හොඳම සබඳතාව වූ ලකුණු 47ක සබඳතාව වාර්තා කිරීමට සමත් වූයේ අබ්දුල් රසාක් (17) සහ ඉජාස් අහමඩ් (22) ය. රසාක් ගේ ඉනිමට පන්දු 51ක්ද ඉජාස් අහමඩ්ගේ ඉනිමට පන්දු 46ක්ද වැයවී තිබුණි. පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේද ඉජාස්ය. ප්‍රෙව්ගකාරී පිතිකරු ඉන්සාම් පන්දු 33කින් ලකුණු 15ක් ලබා සිටියදී රයිෆල්ගේ පන්දුවකට ගිල්ක්‍රිස්ට් අතට උඩපන්දුවක් ලබාදීමෙන් දැවි ගියේය. ෂහීඩ් අෆ්රිඩිගේ ඉනිම ලකුණු 13කට අවසන් කළේ ෂේන් වෝන් විසිනි.

මෙතෙක් ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පාකිස්තානු පිල ලකුණු 132කට දැවී ගියේ පන්දුවාර 39ක් තුලදීය. ෂේන් වෝන් පාකිස්තානයේ කඩුලු 4ක්ම දවා ගත්තේ ලකුණු 33ක් පමණක් ලබා දෙමිණි.

ඉතා පහසු ඉලක්කයක්වූ ලකුණු 133 ලබා ගැනීමට පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් අතරින් ඇඩම් ගිල්ග්‍රිස්ට් අනුකම්පා විරහිත පිතිහරඹයක් පෙන්නුම් කරමින් ලකුණු 54ක් රැස් කළේ පන්දු 36ක් තුළදීය. හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් එල්ල කිරිමටද ගිල්ක්‍රිස්ට් සමත් විය. ග්‍රිල්ක්‍රිස්ට් දැවී යන විට ඔස්ට්‍රේලියානු ලකුණු රැස් කිරීමේ දල වේගය පන්දුවාරයකට ලකුණු 7.5ක් විය. අවසානයේදී ඔස්ට්‍රේලියානුවෝ ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් තරගයක පහසුම ජය වාර්තා කරමින් කඩුලු 8ක් ජයක් වාර්තා කළේ විසි එක් වැනි පන්දු වාරයේදීය. ආරම්භක පිතිකරු මාක් වො නොදැවී ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගම කොදෙව්වන්ට පසුව ලෝක කුසලානය දෙවරක් ජය ගැනීමට සමත් වූ අනෙක් කණ්ඩායම ලෙස ඔස්ට්‍රේලියාව ඉතිහාසයට එක් විය.

ලකුණු පුවරුව

පාකිස්තානය

සයිඩ් අන්වර් ප. ෆ්ලෙමිංග් 15

වජහතුල්ලා වස්ති ඇ. මාක් වෝ ප. මැග්ග්‍රාත් 01

අබ්දුල් රසාක් ඇ. ස්ටීව් වෝ ප. මූඩි 17

ඉජාස් අහ්මඩ් ප. වොන් 22

ඉන්සමාම් උල් හක් ඇ. ගිල්ක්‍රිස්ට් ප. රයිෆල් 15

මොයින් ඛාන් ඇ. ගිල්ක්‍රිස් ප. වෝන් 06

ෂහිඩ් අෆ්රිඩි ක.මු.ක. ප. වෝන් 13

අසාර් මහමූඩ් ඇ. සහ ප. මූඩි 08

වසීම් අක්‍රම් අ. ස්ටීව් වෝ ප. වොන් 08

සක්ලේන් මුෂ්ටාක් ඇ. පොන්ටින් ප. මැග්ග්‍රාත් 00

ෂොයිබ් අක්තාර් නොදැවී 02

අතිරේක 25

මුලු ලකුණු (පන්දුවාර 39කදී සියලුදෙනා දැවී) 132

පන්දු යැවීම

ග්ලේන් මැග්ග්‍රාත් 9-3-13-2

ඩේමියන් ෆ්ලෙමිංග් 6-0-30-1

පෝල් රයිෆල් 10-1-29-1

ටොම් මූඩි 5-0-17-2

ෂේන් වෝන් 9-1-33-4

 

ඔස්ට්‍රේලියාව

මාක් වෝ නොදැවී 37

ඇඩම් ගිල්ක්‍රිස්ට් ඇ. ඉන්සමාම් ප. සක්ලේන් 54

රිකී පොන්ටිං ඇ. මොයින් ප. අක්‍රම් 24

ඩැරන් ලීමන් නොදැවී 13

අතිරේක 05

මුලු ලකුණු (පන්දුවාර 20.1කදී කඩුලු 2ක් දැවී) 133

පන්දු යැවීම

වසීම් අක්‍රම් 8-1-41-1

ෂොයිබ් අක්තාර් 4-0-37-0

අබ්දුල් රසාක් 2-0-13-0

අසාර් මහමුඩ් 2-0-20-0

සක්ලේන් මුෂ්ටාක් 4.1-0-21-1


පසුගියවර ලෝක ශූරයින්ගේ සායම සේදෙයි

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට පැමිණියේ පසුගියවර ශූරයන් ලෙසිනි. විශේෂයෙන්ම 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරින් අසංක ගුරුසිංහ සහ කුමාර ධර්මසේන හැරුණු විට සෙසු සියලු ක්‍රීඩකයන් නායක රණතුංගගේ කණ්ඩායමට ඇතුළත්වී සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක් වූයේ ඒ කාණ්ඩයෙනි. 1996 ලෝක කුසලානය කණපිට පෙරළු කණ්ඩායමේ පළමු තරගය පැවැතියේ සත්කාරක එංගලන්තය සමඟ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. 1996 දස්කම් අසලකටවත් එන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙම තරගයේදී නොහැකි විය. පන්දුවාර 50දී ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 204ක් පමණි. ඉනිමේ එකම අර්ධ ශතකය වාර්තා කළේ රොමේෂ් කළුවිතාරණය. ඔහු ලකුණු 57ක් වූ සිය අර්ධ ශතකය රැස් කළේ පන්දු 66කිනි. නායක රණතුංග ලකුණු 32කදී දැවී ගියේය. එම තරගයෙන් එංගලන්තය ඉතා පහසු ජයක් වාර්තා කළේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගනිමිනි.

දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්වැනි තරගය පැවැතියේ ටොන්ටන්හිදීය. එම තරගය අවසන් වූයේ ඉන්දියානු පිතිකරුවන් ලෝක වාර්තා පිහිටුවමිනි. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලෙස සටහන් වූයේ ලකුණු 318කි. සව්රව් ගංගුලි ලකුණු 183ක් සහ රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 145ක් ඉන්දියාව වෙනුවෙන් රැස් කළහ. ඉන්දීය ඉනිම පන්දුවාර 50කදී කඩුලු 6ක් දැවී ලකුණු 373ක් ලෙස සටහන් විය. පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකාව රැස් කළේ සියලු දෙනා දැවී ලකුණු 216කි.

දකුණු අප්‍රිකාව හමුවේද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ අතර නෙක්යාව සමග තරගය ජය ගැනීමට සමත් විය. එහෙත් පසුගිය වර ලෝක ශූරයන්ට මෙවර තරගාවලියේදී සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් නොලබාම නැවත සිය රට බලා පැමිණීමට සිදු විය. පිතිකරුවන් අතරින් මාවන් අතපත්තු පමණක් අර්ධ ශතක දෙකක් රැස් කිරීමට සමත් විය.

මාතෘකා