අර්ජුනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානය තුරුලට ගනී

 ඡායාරූපය:

අර්ජුනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානය තුරුලට ගනී

හය වැනි ලෝක කුසලානය පැවැතියේ 1996 පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 17 වැනිදා දක්වා ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේ සමසත්කාරකත්වයෙනි. ආසියාවට ලෝක ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය හිමිවූ දෙවැනි අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව තරගාවලියක සමසත්කාරකත්වය ලබාගත් පළමු අවස්ථාවද මෙයයි.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ 17ක, පාකිස්ථානයේ ක්‍රීඩාංගණ 6ක සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3ක තරග පැවැත්වුණි.

තරගාවලිය සඳහා ටෙස්ට් වරම් හිමි රටවල් ලෙස සත්කාරක රටවල්වලට අමතරව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ තරගාවලියට එක් වූ අතර ටෙස්ට් වරම් හිමි නොවූ රටවල් 3ක් පළමු වරට තරගාවලියට එක් වූයේ මෙවර තරගාවලි යේ දීය. ඒ අනුව කෙන්යාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන ටෙස්ට් වරම් හිමි නොවූ රටවල් තරගාවලියට ඇතුළත් විණි.මෙම තරගාවලියද 1992 පැවැති තරගාවලියේදී මෙන්ම සුදු පැහැති පන්දුව, වර්ණ ඇ ඳුම්, දිවා රාත්‍රී තරගවලින් සමන් විත විය. පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැතියේද මෙම තරගාවලියේදීය.

ඒ සහ බී වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වන ලෙස තරගාවලිය පැවැත්වුණි. ඒ කාණ්ඩයට ඇතුළත් වූයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, කොදෙව්, සිම්බාබ්වේ සහ කෙන්යාවයි.

බී කාණ්ඩයෙන් තරගාවලියට එක් වූයේ පාකිස්තානය, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම්ය.

තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පෙර කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ආරක්ෂක තත්ත්වය යහපත් නොවන බව පවසමින් ඔස්ට්‍රේලියාව සහ කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කළහ.

එම කණ්ඩායම් දෙක ශ්‍රී ලංකාවට නොපැමිණීම නිසා ශ්‍රී ලංකාවට එම තරග දෙකේ ජය ප්‍රදානය කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ. ශ්‍රී ලංකාවේ දී සිම්බාබ්වේ සහ කෙන්යා කණ්ඩායම් දෙකම පරාජය කළ ශ්‍රී ලංකාව ඉන්දියාවේදී ඉන්දියාවද පරාජය කිරීමට සමත් විය. ඒ අනුව තරග 5ම ජය ගනිමින් ඒ කාණ්ඩයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. පිළිවෙලින් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම් දෙවැනි තුන්වැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගනිමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට එක් විය.

බී කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට එක් වූයේ එම කණ්ඩයෙන් පළමු ස්ථාන හතර පිළිවෙලින් ලබාගත් දකුණු අප්‍රිකාව, පාකිස්තානය, නවසීලන්තය සහ එංගලන්තයයි. දකුණු අප්‍රිකානු පිල ඔවුන් සහභාගි වූ තරග 5ම ජය ගැනීමට සමත් විය.

අර්ධ අවසන් තරග

පාකිස්ථානයේ ෆයිසලාබාද්හි පැවැති පළමු අර්ධ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව විසින් එංගලන්තය පහසුවෙන්ම කඩුලු 5කින් පරාජය කිරීමට සමත් වූයේ ඉතිහාසයේ පළමු වතාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිමිනි. දෙවැනි අර්ධ අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 39කින් පාකිස්තානය පරාජයට පත් වූයේ බැංගලෝරයේදීය. තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී බී කාණ්ඩයේ පළමු වටයේ තරග 5ම ජයගෙන සිටි දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඒ කොටසේ සිව්වෙනි ස්ථානයේ සිටි කොදෙව් කණ්ඩායම ලකුණු 19කින් පරාජය කළේ පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදීය. සිව්වෙනි අර්ධ අවසන් පූර්ව තරගය පැවැතියේ චෙන්නායි හිදීය. නවසීලන්තය පරාජය කළ ඔස්ට්‍රේලියාවට ඉන් කඩුලු 6ක ජයක් හිමි විය.

අවසන් පූර්ව තරග

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගය ඉතිහාසයට එක් වන්නේ ප්‍රේක්ෂක බාධා කිරීම් නිසා අතරමග නවතා දැමූ පළමු ලෝක කුසලාන තරගය ලෙසිනි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී ලකුණු 251ක් රැස් කිරීමට සමත් වූයේ කඩුලු 8ක් දැවී තිබියදීය. අරවින්ද ද සිල්වා පන්දු 47කින් ලකුණු 66යි. රොෂාන් මහානාම ලකුණු 58යි. ලකුණු 252ක් ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක පන්දුවාර 22කදි එක් කඩුල්ලකට ලකුණු 98ක් ලබාගෙන සිටියේය. ඉන්පසු පන්දුවාර 12කදී කඩුලු 7ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 22ක් පමණි. එම අවස්ථාවේදී ප්‍රෙක්ෂකයන්ගෙන් දිගින් දිගටම සිදු වූ බාධාකිරීම් හමුවේ තරග තීරක ක්ලයිව් ලොයිඩ් විසින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබාදෙන විට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 34.1කදී කඩුලු 8ක් දැවී ලකුණු 120ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය. සාර්ථකවූ එකම පිතිකරුවා වූ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 65යි. සනත් ජයසූරිය ලකුණු 12ට කඩුලු 3යි. තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවූයේ අවසන් තරගයකට පළමු වරට දොරටුව විවර කරමිණි.

දෙවැනි අවසන් පූර්ව තරගය පැවැතුණේ ඔස්ට්‍රේලියාව සහ කොදෙව්වන් අතර මොහාලි හිදී ය. පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාවේ පළමු කඩුලු 4 ලකුණු 15කට බිඳ දමන්නට කර්ට්ලි ඇම්බ්‍රොස් සහ ඉයන් බිෂොප් සමත් වූහ. එහෙත් පස්වැනි කඩුල්ලට ලකුණු 138ක් එක් කරන්නට ස්ටුවර්ට් ලෝ (72) සහ මයිකල් බෙවන් (69) සමත්වීම නිසා ලකුණු දෙසීය සීමාවට ළඟා වීමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 208ක් රැස් කරමින් සිට කොදෙව් ඉනිමේ පන්දුවාර 40ක් වන විට ඔවුන් කඩුලු දෙකක් දැවී ලකුණු 164ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. අවසානයේ ෂේන් වෝන් ඇතුළු ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ එක පිට එක කඩුලු බිඳ වැටීම නිසා ලකුණු 4ක පරාජයක් අත්කර ගත්තේ ලකුණු 203කට සියලුම පිතිකරුවන් දැවී යාමෙනි.

අවසන් තරගය

මාර්තු 17 වැනිදා ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී අවසන් තරගය සඳහා මෙයට පෙර එක් වතාවක් (1987) ශූරතාව දිනූ ඔස්ට්‍රේලියාව සමග පළමු වරට අවසන් තරගයකට එක්වූ ශ්‍රී ලංකාව එක් විය.

මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු පිලේ සෙසු ක්‍රීඩකයන් වූයේ මාක් වෝ, රිකී පොන්ටින්, ස්ටීව් වෝ, ස්ටුවර්ට් ලෝ, මයිකල් බෙවන්, ඉයන් හිලී, පෝල් රයිෆල්, ෂේන් වෝන්, ග්ලේන් මැක්ග්‍රාත් සහ ඩේමියන් ෆ්ලෙමින්ග් ය. අර්ජුන රණතුංග මෙහෙයවූ ශ්‍රී ලංකා කණ්ඩායමට අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම, කුමාර ධර්මසේන, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් සහ ප්‍රෙමා්ද්‍ය විකුමසිංහ ඇතුළත් වූහ.

පසුගිය ලෝක කුසලාන අවසන් තරග පහේදීම මුලින්ම පන්දුවට පහරදුන් කන්ඩායම ජයග්‍රහණය අත්කර ගත්තද මෙවර කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායකයා ඔස්ට්‍රේලියානුවන්ට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේය. මාක් ෙවා්ගේ කඩුල්ල වාස් විසින් දවා ගත්තේ මුලු ලකුණු සංඛ්‍යාව 36ක්ව තිබියදීය. මාක් වෝ ලකුණු 12යි. ටේලර් සහ පොන්ටින් දෙවැනි කඩුල්ලට අගනා ලකුණු 101ක් එක් කළේ ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු ඉහළ නංවමිණි. පන්දු 83කින් ලකුණු 74ක් ලැබූ නායක ටේලර් මුලු ලකුණු සංඛ්‍යාව 137දීත් පොන්ටින් (45) මුලු ලකුණු සංඛ්‍යාව 152දීත් දවා ගැනීමට අරවින්ද සමත් විය. පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි ෂේන් වෝන් එක් ලකුණක් ලබා සිටියදී මුරලිගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට කළුවිතාරණ සමත් වීමත් සමගම ඔස්ට්‍රේලියානුවන්ගේ ලකුණු රැස් කිරීමේ වේගය අඩාල විය. ස්ටීව් වෝ (13) සහ ස්ටුවර්ට් ලෝ (22) ට ද දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට අවකාශයක් නොලැබුණි. හීලි දැවී ගියේ ලකුණු 2කටය. බෙවන් නොදැවී ලකුණු 36ක් රැස් කළ බැවින් පන්දුවාර 50 අවසන් වන විට කඩුුලු 7කට ලකුණු 241ක් ලෙස ලකුණු පුවරුව සටහන් කිරීමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 242කි. තරගාවලියේ සිටි ප්‍රහාරාත්මක සහ ජනප්‍රියම ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සනත් ජයසූරිය ලකුණු 9කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමට හසු වූ අතර කළුවිතාරණ දැවී ගියේ ලකුණු 6කටය. ඒ අවස්ථාවේදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2ක් දැවී ලකුණු 23ක් ලෙසය. ශ්‍රී ලංකාව ලෝක කුසලානය ආසන්නයටම රැගෙන ගිය අති විශිෂ්ට සබඳතාව වාර්තා වූයේ ඉන් අනතුරුවය. එත් අන්තයක් ආරාක්ෂා කරගනිමින් ගුරුසිංහ සෙමින් ලකුණු රැස් කරන විට අරවින්ද ප්‍රහාරය ඇරඹීය. මුලු ලකුණු සංඛ්‍යාව 75 පසුවන විටද ගුරුසිංහද ප්‍රහාරයට හවුල් විය. පන්දු 99කදී ලකුණු 65ක් රැස් කළ ගුරුසිංහ දැවී ගියේ රයිෆල්ගේ පන්දුවකට මුලු ලකුණු සංඛ්‍යාව 148ක්ව තිබියදීය. මොවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 125ක් ලෙසින් දැක්විණි. අනතුරව පිටියට පැමිණි නායක රණතුංගද එම ප්‍රහාරය ඒ ලෙසම පවත්වාගෙන යාමට සමත් වූයේ ඔස්ෙට්‍රේලියානුවන් අසරණ කරමිනි. පන්දුවාර 46.2කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නායක රණතුංග නොදැවී ලකුණු 47යි. පළමු ලෝක කුසලාන දෙකේදී ලොයිඩ් සහ රිචඩ්ස්ට පසු අවසන් තරගයකදී ශතකයක් රැස්කළ අරවින්ද ලකුණු 107ක් රැස්කර සිටියේ පන්දු 124කිනි. අවසන් තරගයේ වීරයා වූයේද අරවින්දය.

ඉන් අනතුරුව ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නායකයා ලෝක ක්‍රිකට් කුසලානය සිය දෝතට ගත්තේ ලෝක ශූරතාව දිනූ පස්වැනි නායකයා ලෙසිනි.

 

මාතෘකා