බේරුවලට පාපැදි ක්‍රීඩාව හඳුන්වාදී : ප්‍රදීපාගාරය තරමට ජනප්‍රිය වූ මිනිසා සීඩින්

 ඡායාරූපය:

බේරුවලට පාපැදි ක්‍රීඩාව හඳුන්වාදී : ප්‍රදීපාගාරය තරමට ජනප්‍රිය වූ මිනිසා සීඩින්

කරුණාරත්න සප්‍රතන්ත්‍රී ශූරින් විසින් රචිත ‘එයා දැං ලොකු ළමයෙක්‘ නවකථාව ඇසුරින් නිර්මාණය කළ එයා දැං ලොකු ළමයෙක් චිත්‍රපටයේ ප්‍රධානම දුෂ්ට චරිතය නිරූපනය කරන්නේ විමල් කුමාරද කොස්තාය. එහි අවුරුදු උත්සවය සඳහා පැවැත්වෙන සයිකල් ධාවන තරගය සඳහා ඉදිරිපත්වන කොස්තා දැඩි පරිශ්‍රමයකින් තරගය ජය ගැනීමට ගන්නා උත්සාහ චිත්‍රපටය නරඹන අපට මතකය. එහි තරගාවසානය නොපෙන්වන අතර පසුව පෙන්වන්නේ තරගයට සැරසුණු ආකාරයෙන්ම සිටින විමල් කුමාර ද කොස්තා එක්තැනක ‘‘සීඩින් රේස් එක දිනුවා’’ යනුවෙන් කේන්තියෙන් පැවසීමයි.

අපි මෙම ලිපියෙන් එයා දැං ලොක් ළමයෙක් චිත්‍රපටය පිළිබදව හෝ කොස්තා ගැන හෝ කථා කිරීමට අදහස් නොකරන නමුත් එම පාපැදි තරගය ජයගත් ‘සීඩින්‘ පිළිබඳව කථා කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ තරගය චිත්‍රපටයේ අවස්ථාවක් වුවද එම පාපැදි තරගය සත්‍ය වශයෙන්ම පැවැති තරගයක් වීම සහ එහි ජයග්‍රාහකයාද සීඩින් වන නිසා පමණක් නොව සීඩින් යනු බේරුවල ප්‍රදේශයේ පාපැදි ක්‍රීඩාව හා සම්බන්ධ පුරාවෘතයක්ද වන නිසාය. බේරුවල වල්තර ග්‍රාමයේ ඉපදී අක්කර අසූව ග්‍රාමයේ දිව ගෙවන අසූ එක් හැවිරිදි සීඩින් සපුතන්ත්‍රී පිළිබඳ බේරුවල නගරයේ නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. කිසිවෙක් බේරුවල ප්‍රදේශයේ පිහිටා ඇති යම් ස්ථානයක් විමසුවොත් දන්නා අයගෙන් විමසන්නේ සීඩිං ඉන්න හරියෙද කියාය. බේරුවල වැඩිම දෙනෙක් දන්නා ස්ථානය වන්නේ ප්‍රදීපාගාරය යි. ඊළඟට හැම දෙනාම දන්නා පුද්ගලයා වන්නේ සීඩින්ය.

බේරුවල නගරයේදී සීඩින් ගැන විමසූ විට ‘‘අපේ සීඩින් ද‘‘ රේස් සීඩින් නේද? කවුද එයාව නොදන්නේ?‘‘ වැනි වදන් අසන්නට ලැබිණි. ඒ සියලු හැඳින්වීම් මැද අපි ඒ සීඩින් සොයා ගියෙමු. ඒ අක්කර අසූව ග්‍රාමයටය. කලින අප එනබව දන්වා ගිය බැවින් අපව බලාපොරාත්තුවෙන් පවුලේ අයවලුන්ද සමග සීඩින් මහතා පෙර මග බලා සිටියේය. ආගිය තොරතුරු සුහදව කථා බස් කිරීමේ පසුව ආ කාරණාවට ප්‍රවිශ්ඨ වීමට අපට හැකි විය.

කොහොමද චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ?

මොන චිත්‍රපටියද?

එයා දැං ලොකු ළමයෙක්?

ආ... මම චිත්‍රපටයට සම්බන්ධ වුණා නෙමෙයි. අපේ ඇත්ත රේස් එකක් චිත්‍රපටියට ගත්තා.

ඒ කළේ එතකොට ඔයා මොනවද කෙරුවේ?

මම පොඩි තැඹිලි ව්‍යාපාරයක් කෙරුවා.

චිත්‍රපටියේ පෙන්නුවේ නැති වුණාට බයිසිකල් ශූරයෙක්?

ඔව්. ඇත්තටත් මම කෙරුවේ බයිසිකල් රේස් පදින එක තමයි.

සයිකල් ජීවිතය පටන් ගන්නේ කොහොමද?

වයස අවුරුදු 18 ඉඳලම බයිසිකල් පදින්න උනන්දු වුණා. බයිසිකල් රේස්වලට තිබුණේ ලොකු පිස්සුවක්. කෙහොම හරි බයිසිකල් රේස් පදිනව කියලා හිතා ගත්තා.

කොහෙන්ද පටන් ගත්තේ?

ඒ කාලේ ජීවත් වෙන්න පොඩි තැඹිලි ව්‍යාපාරයක් කෙරුවා. ව්‍යාපාරය කරන අතර තමයි පුහුණුවීම් කෙරුවේ.

ඒ කොහොමද?

පාන්දර පහට පහමාරට යනවා. වාද්දුවෙන් තැඹිලි ගෙනල්ලා බේරුවල විකිණුව. ගියා. වාද්දූවට යනකොට පිඹල යනවා. තැඹිලි ගෙඩි 100ක විතර ලෝඩ් එකක් තියාගෙන පදිනකොට යන තරං වේගයෙන් එන්න බැහැ. ඒත් පුලුවන් උඵරිම වේගෙන් මම එනවා. තැඹිලි තියාගෙන පදිනකොට කකුල් දෙකට හොඳ ගාණං .... සෑහෙන මහන්සියි. ඒත් අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් තැඹිලි ගේනවා.දවල් දොෙළහ වෙද්දි තැඹිලි ටික විකිණිල ඉවරයි. සමහර දවස්වලට තුන් හතර පාරත් ගිහිල්ලා තියෙනවා. දවසට කිලෝ මීටර් 150ත් පැදපු දවසුත් තියෙනවා. ඒක තමයි මගේ පුහුණුව.

එච්චරද පුහුණුව?

තැඹිලි විකුණන්නේ නැති වලට පුහුණුවීම් කරන්නේ අළුත් ගමට ගිහිල්ලා, එතනින් හොරවලට ගිහිල්ලා. හොවලින් පොල්ගම්පල හරහා අගලවත්තට එනවා. අගලවත්තෙන් හොරණට. එතනින් පානදුරට එනවා. පානදුරින් කෙළින්ම බේරුවලට. හැතැප්ම 100ක් විතර දුරක් තියෙනවා.

කවුද ගුරුවරයා?

ගුරුවරයෙක් නැහැ. තනියමම තමයි මම පුහුණු වුණේ. උපක්‍රම හැම දෙයක්ම පුරුදු වුණේ තනියම. මගේ බයිසිකලයට හරියන්න මම පුරුදු වුණා. අන්තිමට ගෝලයෝ දෙතුන් දෙනෙකුත් බිහිකරා. මගේ ගෝලයෙක් හිටියා එස්.ඩී. සෝමරත්න කියලා මිනිහත් එනවා සමහර දවස්වලට පුහුණුවට.

කවුද මේ ප්‍රදේශයේ හිටිය සමකාලීනයෝ?

මම තමයි මෙහෙට බයිසිකල් රේස් කියන ක්‍රීඩාව ගෙනාවේ. බේරුවල සයිකල් රේස් කියල අඳුර ගත්තේ මාව.මාත් එක්ක එකට පුහුණු වෙන්නවත් කවුරුත් හිටියේ නැහැ. අවුරුදු ගාණකට පස්සේ තමයි සෝමරත්න වගේ අය මාත් එක්ක පුහුණු වෙන්න ආවේ.

මුලින්ම පැදපු තරගය?

1960දි වගේ, මුලින්ම පැද්දේ කළුතර රේස් එකක්. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තමයි ඒ රේස් එක තිබ්බේ. ඒකේ අවුරුදු 3ක්ම මම පිට පිටම දිනුවා.

මොනවද පැදපු හොඳම රේස්?

1968 ලංකා සවාරියේ පළවෙනි දවසේ දෙවැනියා වුණා. දෙවැනි දවසේ බයිසිකලයේ හුළං බැහැපු නිසා තරගයේ එකොළොස් වැනියා වෙන්න වුණා. කහවත්තේ, රත්නපුරයේ ඒකාලේ හොඳ රේස් තිබුණා. සැෆායර් රේස් එකේදි කුමාර්වේල් එක මම දෙක. තව කොළඹ විහාර මහා දේවි එක වටේ තිබුණු රේස් එක දිනුවා. ඒ කාලේ ස්ප්‍රින්ට් එකට දක්ෂ වොල්ටර් ඇන්තනි වගේ අයත් හිටිය. කොහොම හරි රෙස් එකක මම දෙක හරි තුන හර ගන්නවමයි.

කෑම බීම?

පුහුණුවීම්වලට යනකොට අහුවෙන දෙයක් කාල යන්නේ. විශේෂ දෙයක් කන්නේ නැහැ. හොරණට ගිහිල්ලා තමයි උදේට කන්නේ.

ඒත උදවුවට පිරිසක් ඕනනේ?

මගේ බිරිඳ තමයි මාව දිරි ගන්වන්න ගියේ. කොහේ රේස් එකක් තිබුණත් එයා එනවා. මුල් කාලයේදී මගේ මස්සිනා දයානන්ද තමයි මට හැම දේකටම හිටියේ. ඒ එක්කම හැරිසන්, හේමපාල, කඩේ සිරිසේන එක්ක 7 දෙනෙක් වගේ හිතවතුන් පිරිසක් හිටියා මාව දිරි ගන්වන්න. එතන හිටියා තව විශේෂ මිත්‍ර යෙක් මන්සූර් කියල. මිනිහ මුස්ලිම් වුණාට මාව දිනවන්න පුදුම උනන්දුවක් තිබුණේ. ඒ අයත් එක්ක මගේ බිරිඳත් එනවා. ඒ හිතවතුන්ම තමයි වාහනයක් හොයා ගන්නෙත්.

තව එකක් කියන්න ඕන. ඒ කාළේ සුමනවීරට උදවු කරන අය මටත් උදවු කරනවා. සුමනවීරට කහවත්තේ ව්‍යාපාරිකයන් උදවු කරනවා. කහවත්තේ ව්‍යාපාර කරන මැණික් මුදලාලිල බේරුවලත් එක්කත් ව්‍යාපාරික සම්බන්දතා තියෙනවා. ඒ නිසා එ අයව මම හොඳට අඳුරනවා. සුමනවීරට උදවු කරන ගමන් ඒ අය මටත් උදවු කරනවා.

තරගවලදී අකරතැබ්බවලට මැදි වෙලා නැද්ද?

අපොයි තියෙනව. නෑබඩ දි එක සැරයක් ලොකු කරදරයක් වුණා වට තුනක රේස් එකක් තිබුණා ඒකේ මම තමයි ඉස්සරහින්ම හිටියේ කොහොම හරි එක තැනකදි, එතැන වංගුවක් තිබුණේ. පාර හරස් කරල කොට දාල එක එක දේවල් කරල තිබුණ මාව වට්ටන්න. මාව වැටුණා ඊට පස්සේ ඒක කරපු කෙනෙක් මගේ බයිසිකලය විසිකරා. බයිසිකලය ගිහිල්ලා වැදුණේ ගහක. එතනදි වුණේ තරගයේ හිටපු කෙනෙක්ගේ හිතවතුන් තමයි මට එහෙම කළේ. ඒත් මම ආයමත් පැදලා රේස් එක දිනුවා. ඒ වැටිල වෙච්ච තුවාල කැලළ මේ ළඟක් වෙනකම්ම නළලේ තිබුණා.

නමගිය සයිකල් ශූරයන්ට අභියෝග කරපු අවස්ථා එහෙම?

එක සැරයක් තරගයකදි හයිලෙවල් පාරේ අපි පදිනකොට, 1962 ලංකා සවාරිය දිනපු අර්වින් ප්‍රනාන්දුව (චුට්ටා) එලවල ඇල්ලුවා. ඒක අමතක වෙන්නේ නැහැ. අපි හතරදෙනෙක් තමයි එලවලා ඇල්ලුවේ. ජයරත්න කියල දක්ෂ පාපැදි ක්‍රීඩකයෙක් අපි එක්ක හිටියා මතකයි.

අමාරුකාරයො කවුද?

ඒ කාලේ මට ස්ප්‍රින්ට් එකේදි අමාරු කාරය වුණේ බොනී (බොනිෆස් පෙරේරා) තමයි.

බයිසිකලය හොඳ තත්ත්වයෙන් තිබුණද?

ඔව්. මග්ගොන සීමන් තමයි මගේ බයිසිකලය ගලවල සෙට් කරල දෙන්නේ. මොන තරම් වැඩ තිබුණත් සීමන් මගේ වැඩේටම පේවිලා ඉන්නවා. වැඩේ තිතට කරනවා.

කවුද අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වුණේ?

ඇලෙක්සැන්ඩර් (ඇලිකා) මට සෑහෙන කාලයක් උදවු කෙරුවා. එයා රාගම හිටියේ. දැන් වසර කීපයකට කලින් එයා මිය ගියා. හොඳ මනුස්සයෙක්. එයා අපිට වටිනාකමක් දුන්නා.

දැං ගෙදර විස්තර පොඩ්ඩක් කියන්න?

මගේ බිරිඳ කරුණාවතී. මට දරුවො දහ දෙනෙක් ඉන්නවා පුතාලා පහයි, දුවලා පහයි. සමන්, උපුල්, චාමින්ද, දීපාල් සහ තුසිත තමයි පුතාල පස්දෙනා. දුවලා පස්දෙනා තමයි මානෙල්, ශිරානි, නිශානි, චාමිනී සහ ගංඟා. ඒ අයගෙන් මට මුණුබුරු මිණිබිරියන් 27ක් සහ මී මුණු මිණි බිරියන් 6ක් ඉන්නවා.

දරුවො පාපැදි තරගවලට ආවේ නැද්ද?

ටික කාලයක් හිටියා. තුසිත කුමාර පුතා 1992 වසරේ සමස්ත ලංකා පාසල් පාපැදි තරගයේ පළමු වැනියා වුණා.

ගුරුවරයෙක් නොමැතිව ශ්‍රී ලංකාවේ නමගිය පාපැදි ශූරයන් සමග හරි හරියට ස්ටෑන්ඩඩ් පාපැදියෙන් හරඹ කළ මේ ප්‍රවීන සයිකල් ශූරයාගෙන් සහ දරුවන්, මුණුබුරු, මිණිබිරියන් සහ මීමුණුබුරු මිණිබිරියන් 43ක් සිටින පුංචා ගම්මානයකින් සමුගෙන නැවත අපි පැමිණෙන විට තරුණ කාලයේ ඡායාරූපවල සිටින ජව සම්පන්න සීඩින්ගේ සිනාවම වයස අවුරුදු 81දීත් අපිට දකින්නට ලැබුණි.

සාකච්ඡා කළේ [ඩබ්ලිව්. ආර්. කුමාර]

ඡායාරූප [චේනක වික්‍රමආරච්චි]

මාතෘකා