ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද එංගලන්තයට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද එංගලන්තයට

ලන්ඩන් තණතීරු මත දින අටක විශේෂ පුහුණු සැසියක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (07 වැනිදා) ඒ සඳහා එංගලන්තය බලා පිටත්ව යයි. එහිදී දින අටක විශේෂ පුහුණු සැසියකට සහභාගිවීමටද නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මීට පෙර සැලසුම් කර තිබූ පරිදි දේශීය පුහුණු සැසිය දඹුල්ල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නොහැකිවූ නමුත් කොළඹ ආශ්‍රිතව එම පුහුණුව හැකිතාක් දුරට ලබාගත්බව කණ්ඩායම් ආරංචි මාර්ග පැවසීය.

පාස්කු ඉරිදා ඇතිවූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් දඹුලු පුහුණු සැසිය අවලංගු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය. පසුගිය මැයි 01 වැනිදා රැස පුවත්පතට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියකු පැවසූයේ ‘අපි රටේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන දඹුල්ලේ පුහුණු සැසිය නතර කළා. නමුත් ඔවුන් කොළඹ පැවැත්වෙන පුහුණු සැසි සඳහා සහභාගි වෙනවා. දැන් කණ්ඩායම හොඳ මානසික සමබරතාවයක පසුවෙනවා. අපිට ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් ලබාගන්න කාලය ඉතිරිවී තිබෙනවා. ලෝක කුසලානයේදී අපේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරාවියැයි විශ්වාසයි’ යැයි පැවසීය.

කණ්ඩායමේ පුුහණුවීම් සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතාගෙන් රැස කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කණ්ඩායම ගෘහස්ථ පුහුණු කටයුතු වෙනුවෙනුත් සහභාගිවූ බවය. එළිමහන් ක්‍රීඩාංගණ මත ලබාගන්නා පුහුණුව සහ ගෘහස්ථ පුහුණුව සමපාත කිරීමට නොහැකි වුවද කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිද්දී ඒ සම්බන්ධයෙන් යම් ගුණාත්මක අදහසක් ලබාගැනීමට සිදුවන බවද ඔහු කියාසිටියේය.

‘රැස‘ පුවත්පත මීට පෙර අනාවරණය කළ ආකාරයටම කණ්ඩායමේ සුපිරි වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වන්නේ ලබන 22 වැනිදා හෝ ඊට පෙර යැයි අපේක්ෂා කෙරේ. ‘ඔහු පුහුණු තරග වලට පෙර කණ්ඩායම හා එක්වේවි. අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් තරගයට එක්වන්න තියෙන අවස්ථාව සලකද්දී ඔහුට කණ්ඩායම සමඟ එක්විය හැකි සාධාරණම දවස තමයි ඒක. මාලිංග ලන්ඩන් පුහුණු සැසියට සහභාගි වන්නේ නැහැ. ඒ වගේම අපේ කණ්ඩායම ස්කොට්ලන්තය තුළ සිදුකරන තරග සංචාරයට ක්වන්නේත් නැහැ. නමුත් දකුණු අප්‍රිකාව සමඟ 24 වැනිදා පවත්වන පළමු පුහුණු තරගයට ක්‍රීඩා කරන්න නියමිතයි. ඒ වගේමයි 27 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන දෙවැනි පුහුණු තරගයටත් ඔහු ක්‍රීඩා කළ යුතුයි. අයි.පී.එල්. තරගාවලියෙන් අනතුරුව ඔහුටත් යම් විවේකයක් අවශ්‍ය බව අප පිළිගත යුතුයි’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ ප්‍රකාශකයා පැවසීය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා