ලෙඩ රැසකට ගුණ රටකජු

 ඡායාරූපය:

ලෙඩ රැසකට ගුණ රටකජු

 

 

රරටකජු යනු බොහෝ දෙනකු අතර ජනප්‍රිය ආහාරයකි. විටමින් ඊ, ප්‍රෝටීන්, යකඩ, සින්ක්, පොටෑසියම් මැග්නීසියම් ගුණාත්මක මේද ආදී පෝෂක සංඝටක ගණනාවකින් සපිරි රටකජු වෙනත් බොහෝ ඇට වර්ගවලට වඩා පෝෂණ ගුණයෙන් උසස් ලෙස සැලකෙනවා. තන්තුමය ස්වභාවය නිසා ආහාර ජීර්ණ පද්ධතියටත් හිතකර රටකජු අධි රුධිර පීඩනය ඇතුළු රෝග ගණනාවක් මැඩලීමේ ශක්තියෙන්ද යුක්තයි.

රටකජු දිනපතා ආහාරයට එක් කර ගැනීමෙන් හෘදයාබාධ වැනි රෝග සියයට 30කින් අඩුකර ගත හැකි බව ඇමරිකාවේ හාවඩ් විද්‍යායතනය හා චීනයේ හුවා සොන් විශ්වවිද්‍යාලය එක්ව කළ පර්යේෂණයකින් අනාවරණය වුණා. හදවත් ආබාධවලින් සිදුවන මරණ සියයට 17කින්ද පිළිකා හා නොමේරූ ළදරු මරණ සියයට 11කින්ද අඩුකර ගැනීමට රටකජුවලට හැකි බව පර්යේෂකයන් පවසනවා.

රටකජුවල අඩංගු ප්‍රෝටීන් විශේෂයක් හදවත් රෝගවලට හේතු වන රුධිර නාල ඝන වීම් දුරුකර ඒවා නම්‍යශීලී සහ ශක්තිමත් කරන බවත් එමඟින් රුධිර සංසරණය ක්‍රමවත් වන බවත් පර්යේෂකයන්ගේ අදහසයි.

එමෙන්ම ශක්තිජනක ආහාර හා විටමින් ගන්නා අයට වඩා රටකජු වැනි ආහාර ගන්නා පුද්ගලයන් දිගු කල් ජීවත්වන බවත් නිරෝගී ජීවිත ගත කරන බවත් පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. පුද්ගලයන් 119,000ක් යොදාගෙන වසර 20ක් පුරා කළ හැදෑරීම්වලින් ඒ බව අනාවරණය වී තිබෙන බව පර්යේෂකයන් වැඩිදුරටත් පවසනවා. තවත් සමීක්ෂණයකින් කියැවෙන්නේ ගැබිනි මවුවරුන්ට රටකජු ලබාදීමෙන් උපදින දරුවාට ධාන්‍ය ආශ්‍රිත අසාත්මිකතා අවම වන බවයි. කලල අවධියේ එවැනි ආහාර ලබා දීමෙන් ප්‍රතිශක්තිකරණය වැඩි වන බවත් හෙළි වී තිබෙනවා. සතියකට දෙවරක්වත් රටකජු ආහාරයට ගන්නේ නම් බඩවැල් පිළිකා වැලඳීමේ අවදානම කාන්තාවන්ට සියයට 57කින් සහ පිරිමින්ට සියයට 27කින් අඩුකර ගත හැකි බවද රටකජු පිළිබඳ තවත් පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

රටකජු සිරුරේ මාංසපේශී ශක්තිමත් කරන අතර අධික ආහාර රුචිය අඩුකර දෙන බවත් තවත් පර්යේෂණයකින් පැවසෙනවා. එම නිසා අධික තරබාරුව මට්ටු කර ගැනීමට කැමති පුද්ගලයන්ට අධි ආහාර පරිභෝජනයෙන් වැළකී තරබාරු බවින් මිදී සිටීමට රටකජු ආහාරයට ගැනීම තුළින් හැකි වෙනවා.

එමෙන්ම බොහෝ බෝ නොවන රෝගවලින් වැළැකීමටද රටකජු උපකාරී වෙනවා. එහි අඩංගු විටමින් ඊ හිසකෙස් වර්ධනය කරනවා. ඊට අමතරව රටකජු මඟින් මොළය වයසට යෑම පමා කරන අතර එමඟින් අමතක වීම් සහ මොළයේ ක්‍රියාකාරීත්වයේ අඩු වීම් වළකනවා.

අමතර ආහාර ලෙස ආහාරයට එක්කර ගන්නා අධික සීනි, පිටි සහ තෙල් සහිත කෑම වෙනුවට

රටකජු ස්වල්පයක් ආහාරයට ගත හැකි නම් එය සිරුර ශක්තිමත් වීමට සහ නිරෝගී වීමට උපකාරී වන බවද පර්යේෂකයන්ගේ අදහසයි. එහෙත් රටකජුවලට ලුණු, තෙල් සහ සීනි එක්කර ආහාරයට ගැනීමෙන්

රටකජුවල අඩංගු ගුණාත්මක බව විශාල වශයෙන් අඩු වී යන බවත් පර්යේෂණ තුළින් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම කෙතරම් ගුණදායක වුවත් අසීමිත ලෙස අධික ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගැනීම හිතකර නොවන බවද අමතක නොකළ යුතුය.

(අන්තර්ජාලය ඇසුරිනි)

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා