මො ෆාරා - ගෙබර්සෙලාසි ගෞරවය වෙනුවෙන් සටනක : ලෝකයේ දුර ධාවනයේ සෙනෙවියන්ගේ ගැටුම අධිකරණයට?

 ඡායාරූපය:

මො ෆාරා - ගෙබර්සෙලාසි ගෞරවය වෙනුවෙන් සටනක : ලෝකයේ දුර ධාවනයේ සෙනෙවියන්ගේ ගැටුම අධිකරණයට?

මැරතන් තරගය ලෝක ඉතිහාසයට එක්වූ ආකාරය හරි අපූරු කතාවකි. එය බිහිවී ඇත්තේ ග්‍රීසිය කේන්ද්‍ර කරගනිමින් වීම මෙහි සාඩම්බර භාවය තවදුරටත් ඉහළ නංවතැයි කිවහැකිය. ලෝකයට එක්වූ අපූරු ක්‍රීඩා අංගයක් ලෙසින් සැලකුණද එය බිහිවූයේ ක්‍රීඩාවට සම්පූර්ණ පරිබාහිර අන්තයක් ලෙසින් ගිණිය හැකි යුද්ධය හේතුකොටගෙනය. එවන් මූලාරම්භයක් සහිතව පසුව ක්‍රීඩාවක් බවට පිළිපන් මෙම දුර ධාවනය මැරතන් නමින් නාමකරණය වූයේය. ලෝකය එක් කිරීමට යොදාගත හැකි ක්‍රියාකාරකමක් බවට පත්වූ මෙම මැරතන් ක්‍රීඩාව නොපැවති බිමක්, දේශ සීමාවක් ලෝකය තුළ සොයාගත නොහැකි තරමට එකී ක්‍රීඩාව ශීඝ්‍ර ජනප්‍රියත්වයක් හිමිකරගත්තේය. එවන් වූ මැරතන් ක්‍රීඩාව වෙනුවෙන් මෑතකාලීන ඉතිහාසයේ බිහිවූ ලොව විශිෂ්ටතම ධාවකයා ලෙස සැලකෙන්නේ හේලි ගෙබර්සෙලාසිය. ‍වත්මන් මැරතන් ධාවන පිටියේ විශිෂ්ටයා වූ මො ෆාරා ලෙසින් සැලකීම යුක්ති යුක්තය. කෙසේ නමුත් හිටපු ශූරයා සහ වත්මන් ශූරයා පසුගියදා වැඩි වශයෙන් පුවත් මවන්නට වූයේ මැරතන් ක්‍රීඩාවට පරිබාහිරවය. එය පෞද්ගලික වශයෙන් සලකන කල ඔවුන් දෙදෙනා අතර ඇතිවූ වාචික යුද්ධයක් දක්වා ඉදිරියට ගමන් කරමින් තිබේ. මේ එකී කතාව පිළිබඳ සංක්ෂිප්ත විශේෂාංගයකි.

දුර ධාවනයේ විශිෂ්ටයන් දෙදෙනාගේ ගැටුමට හේතුව

පසුගිය දිනෙක මෙම යුද්ධය ඇරඹුණේ ජාත්‍යන්තර මාධ්‍ය හරහාය. එය බුර බුරා ඇවිලෙන්නට වූයේ මාධ්‍ය සුළං හමන අත බලමින් සිද්ධියට තව තවත් පිදුරු දමන්නට වූ වියට. පළමුව චෝදනා නැගීමෙන් ඇරඹි මෙම සටන දිගින් දිගටම වැඩි වර්ධනය වූයේ එකී චෝදනාවලට ප්‍රති උත්තර බඳින්නට වේදිකාවක් නිර්මාණය කළ හෙයිනි. මැරතන් ක්‍රීඩකයකු තරගයක් නිමකිරීමට නම් සැතපුම් 26 ඉක්මවා දුෂ්කර ගමනක් ධාවනය කළයුතුවාක් මෙන් මොවුන් දෙදෙනා අතර ඇරඹි වාචික යුද්ධය අසීමිත වන තරමට දුර ඇවිලී ගියේ එලෙසිනි.

එම වාචික යුද්ධයේදී මො ෆාරා තම හෝටලයට හා එහි සේවකයන්ට අනර්ථයක් සිදුකළ බවට ගෙබර්සිලාසිගේ පාර්ශ්වයෙන් චෝදනා එල්ලවූ අතර මො ෆාරා කියාසිටියේ තමන් සතු මුදල් සහ වටිනා ඔරලෝසුවක් හෝටල් පරිශ්‍රය තුළදී සොරා ගත් බවය. මෙයට ගෙබර්සෙලාසිගේ නම ඈඳෙන්නේ අදාළ වංචාව සිදුකළේ ඔහුට අයත් ඉතියෝපියාවේ අගනුවර වන ඇඩිස් අබාබාහි පිහිටි හෝටලයක් තුළ සිදුවීමය. ‘මො ෆාරා තමන්ගේ සහෝදර ක්‍රීඩකයකුට අත ඉස්සුවා’ ගෙබර්සිලාසි චෝදනා මුඛයෙන් යුතුව මාධ්‍ය වෙත පවසා තිබිණි.

‘මගේ බඩු සොරා ගැනීමකට ලක්වුණේ ගෙබර්සිලාසිගේ හෝටලයක නවාතැන් ගෙන සිටියදීයි. අඩුම තරමේ මා එවැනි කරදරයකට මැදිවුණේද කියාවත් ඔහු ඇසුවේ නැහැ’ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මො ෆාරා පවසා තිබුණේය.

ගෙබර්සිලාසි කරන චෝදනාවන් සඳහා තවදුරටත් ඉඩ ලබාදෙමින් ජාත්‍යන්තර මාධ්‍ය හෙළිකර ඇත්තේ පුහුණු සැසිවාරයක් අතරතුර හෝටලයේ කායවර්ධනාගාරයේදී මො ෆාරා විසින් ඉතියෝපියානු මලල ක්‍රීඩකයකු වන Sisay Tsegayeට පහරදී ඇති බවයි. ඔහු මීටර් 10000 දුර ධාවකයකු ලෙසින් සැලකෙයි. මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට මො ෆාරා Sisay Tsegaye ගේ නිකටට පහර එල්ල කර ඇත. එලෙස ඔහුට පහර දෙන අවස්ථාවේ සිසේගේ බිරියද එහි සිට ඇති අතර මො ෆාරා ඇයටද පහරදී ඇතැයි චෝදනා එල්ල විණි. මෙම පහරදීමට හේතුවී තිබුණේ තමන්ගේ පුහුණු ඉරියව් රහසේ නිරීක්ෂණය කළ බවට චෝදනා එල්ල කරමිනි.

‘මගේ ක්‍රීඩකයා පහරදුන්නේ ඔහුගේ ආත්මාරක්ෂාවට’ මොෆාරාගේ පුහුණුකරු ගැරී ලොෆ් මෙම සිද්ධියට මැදිහත් වෙමින් පවසා තිබුණේය. ලන්ඩන් ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් පුවත්පතට අදහස් දක්වමින් ඔහු තවදුරටත් අදහස් දක්වා තිබිණි. ‘මේ පහර කෑ බව කියන පුද්ගලයා මො ටයි, ඔහුගේ පුහුණු සහායක බසීර්ටයි අභියෝග කර තිබෙනවා. මේක වෙලා තියෙන්නේ කායවර්ධනාගාරයේදීයි. ඊට පස්සේ ඒ පුද්ගලයා බසීර්ට පහර දෙන්න හදද්දී මො, බසීර්ව ආරක්ෂා කරගන්න ගිහින් පහර දෙන්න ආපු පුද්ගලයාට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. පිටිපස්සෙන් ඇසුණු ශබ්දයකට අනුව මො එකවරම ඒ පැත්තට හැරිලා තියෙන්නේ ඒ කවුරුන්ද කියලා නොදැනයි. පහරක් එල්ල කරගෙනම අනෙක් අතට හැරෙද්දී ඇගේ අතට ඒ පහර වැදිලා. ඒ මොහොතේ ඇගේ ඇතේ කිලෝ පහක බර ඩම්බෙල් දෙකක් තිබිලා තිබෙනවා. ඇය ඒවායින් ඔහුට පහර දෙන බවට තර්ජනය කරලා’යැයිද ප්‍රකාශ කර තිබිණි.

‘මගේ ඔරලෝසුවක්, දුරකථන දෙකක් සහ එංගලන්ත පවුම් 2600ක් වටිනා මුදල් හෝටල් කාමරයෙන් සොරාගෙන තිබෙනවා’ මො ෆාරා චෝදනා නගමින් පවසා ඇත්තේ මේ අතරය. එය අස්ථානගතව ඇත්තේ ඔහුගේ උපන්දිනය යෙදී තිබූ පසුගිය මාර්තු 23 වැනිදා දිනයේදීම වීම විශේෂත්වයකි.

කෙසේ නමුත් පහර කෑමට ලක්වූ බව කියන සිසේ සෙජෙයි නමැති ඉතියෝපියානු ක්‍රීඩකයාට සහ ඔහුගේ බිරිය වන ඩැග්මවිට් කිබිරුට අමතරව මො ෆාරාගේ අයහපත් හැසිරීම් හේතුවෙන් මෙම කායවර්ධනාගාරයේ කළමනාකරු චාලා දිරිබාද පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පීඩාවට පත්ව ඇතැයි ගෙබර්සිලාසි චෝදනා නගයි.

‘ඔහුගේ බර ඉසිලීමේ ව්‍යායාම රහසේ කොපි කරගන්නවා කියලා මො ෆාරා මට චෝදනා කළා. ඔහුගේ පුහුණු සැසියේ ක්‍රියාවලිය මම මේ ආකාරයෙන් සොරාගන්නා බවයි ඔහු කීවේ. ඔහු මාව තල්ලු කළා. තදින් තල්ලු කරලා දැම්මා. ඊට පස්සේ මගේ කමිසයේ කොලරයෙන් අල්ලලා මාව කැරකෙවුවා’ ඔහු පවසා ඇත.

තමන් ඒ සිද්ධියෙන් දැඩි අපහසුතාවට සහ අසරණ භාවයට පත්වූ බව කායවර්ධනාගාර කළමනාකරු ප්‍රකාශ කර තිබේ. ‘ඇත්තටම ඒ සිද්ධියට පස්සේ මම අඬමින් එතැනින් ඉවත්වුණා. මොකද ඒක මගේ සේවය කරන තැන. එදායින් පස්සෙ ඔහු කායවර්ධනාගාරයේ ඉන්න වෙලාවට මම එතැනට යන්නෙ නෑ’ යැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

‘එවැනි දෙයක් වුණේ කොතැනදීද කවදද කියලා ඔහු පැහැදිලි කරලා නැහැ’ මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මො ෆාරා පවසයි.

මේ අතර මෙම ගැටුම නව මානයකට රැගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති මලල ක්‍රීඩා පුහුණුකරුවකුගේ නමද කරළියට පැමිණ තිබේ. එම පුහුණුකරුවාගේ සම්බන්ධතාව ඇත්තේ ගෙබර්සිලාසිටද, මො ෆාරාටද යන්න තවමත් අවිනිශ්චිත වන තරමට එය ආන්දෝලනාත්මකය.

ගෙබර්සිලාසි පවසන්නේ ආන්දෝලානාත්මක පුහුණුකරුවකු වන ජමා ඇඩෙන් සමඟ තමාට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි. ඔහු තම හෝටලයට පිවිසීමට පවා අකමැත්තක් දක්වන බව ඔහු ප්‍රකාශ කරයි. ‘ඔහු මා සමඟ අමනාපයි. ඒ නිසා මගේ හෝටලය පැත්ත පළාතක එන්නේ නෑ’ ගෙබර්සිලාසි පවසා ඇත.

මො ගේ හිටපු පුහුණුකරුවකු වන ඇල්බර්ටෝ සැෂාර් සමඟ යායා විලේජ් හෝටලය ආශ්‍රිතව ඒඩ්න් යම් යම් ක්‍රියාකරන බවක් මෝ පාර්ශ්වය චෝදනා නගයි. ඊට ප්‍රතිචාර දක්වන ගෙබර්සිලාසි එය දැඩිව ප්‍රතික්ෂේප කර සිටියි. ‘මම ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මම ඉතියෝපියානු මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානියා වශයෙන් ඉඳිද්දී ඔහු මා සමඟ දැඩි අමනාපයක් දැක්වූවා. ඒ නිසා ඔහු මගේ හෝටලයක් පැත්ත පළාතක එන්නෙ නෑ. මේ සිද්ධිය කියලා ඔහු මගෙන් පළිගන්න උත්සහයක් ගන්නා බව පෙනෙනවා’ යනුවෙන් චෝදනා මුඛයෙන් පවසා ඇත.

‘ජේම්ස් ඇඩන් මොව පුහුණු කරන්නෙ නෑ’ ඊට ප්‍රතිචාර දක්වන මො ෆාරාගේ පාර්ශ්වය පිළිතුරු ලබාදී ඇත්තේ මෙම පුහුණුකරු සමඟ සබඳතා ඇත්තේ ගෙබර්සිලාසි පාර්ශ්වයට බව කියන්නටය.

මො ෆාරා

අඩිස් ආබාබා ගියේ ඇයි?

එංගලන්තයේ වෙසෙන මො ෆාරා අඩිස් අබාබා වැනි නගරයකට ගියේ ඇයිදැයි යන්න මෙතැනදී පාඨකයාට නැගෙන ප්‍රශ්නයකි. ඒ පිළිබඳ සඳහන් කරන්නේ නම් දුර ධාවකයන්ට සුදුසුම උන්නතාංශයක් සහිත පුහුණු පරිසරයක් ඉතියෝපියාවේ පිහිටා ඇති හෙයිනැයි කිව හැකිය. එය තවත් ආකාරයකින් පවසන්නේ නම් අඩිස් අබාබා සැලකෙන්නේ දුර ධාවකයන්ගේ මක්කම ලෙසිනි. අඩිස් අබාබාහි පිහිටි ගෙබර්සිලාසිගේ හෝටලයට දිස්වන පරිසර දර්ශන ගැන සිහිපත් කරන්නේ නම් ජුනිපර් ගස් වලින් වැසී ඇති කඳුයායත්, රට දොඩම් ලෙල්ලේ පැහැය ගන්නා දූවිලි මාවතුත් දැකගන්නට හැකිය. මේ සඳහා පහසුකම් සපයන ගෙබර්සිලාසිගේ හෝටල් කීපය අතුරින් 'යායා විලේජ්' හෝටලය මැරතන් ධාවකයන්ට සහ දුර ධාවකයන්ට නවාතැන් ගෙන පුහුණුවීම්හි නියැලිය හැකි ආකාරයෙන් සකසා ඇත. එහි ඉහළ උන්නතාංශික මැරතන් ධාවක පුහුණු ප්‍රදේශයක් ලෙසින් පවත්වාගෙන යාමට ගෙබර්සිලාසි කටයුතු කර තිබේ. ඔහු ඉදිකර ඇති මෙම හෝටලය තරු හතරේ හෝටලයක තත්ත්වයද හිමිව ඇත. එය පිහිටා ඇති භූමි භාගය ආසන්න වශයෙන් අඩි නව දහසකට ඉහළින් පිහිටයි. එහි පිහිනුම් තටාකයක්, කායවර්ධනාගාර පහසුකම්, භෞතචිකිත්සකයන්, සම්භාහක පහසුකම්, උණුසුම් වාෂ්ප නෑමේ අවස්ථාව සැතපුම් දෙකක් වනය තුළ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව මෙන්ම විවිධ දේශගුණික තත්ත්වයන් ඉතා කුඩා දුර ප්‍රමාණයකදී අත්විඳීමේ පහසුකම සැපයෙන ක්‍රීඩාංගණයකින් ද සමන්විතය.

ගෝලීය මැරතන් ධාවකයන් බොහෝ දෙනෙක් මෙහි නවාතැන් ගනිමින් තමන්ගේ ධාවන පුහුණු කටයුතු සිදුකරන්නේ එහි සිට පුහුණු පහසුකම් සලසා ගත හැකි හෙයිනි. මො ද අවස්ථා ගණනාවක් මෙහි නවාතැන් ගෙන ඇත්තෙකි. ඔහු සතු දුරකථන, මුදල් සහ ඔරලෝසුව සොරාගෙන ඇත්තේ මෙලෙස පහසුකම් සහිත යායා අප්‍රිකා ක්‍රීඩක ගම්මානයේ සිටියදීය. එය එම හෝටල් කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින් සිදුකර ඇතැයි චෝදනා එල්ලවී ඇත. තමන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට රහසේ ඇතුළුවී සොරා ගැනීමක් සිදුව ඇතැයි මො ෆාරා පොලිසියට දෙවරක් පැමිණිලි කර ඇති අතර පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ පාරා සහ ගෙබර්සිලාසි අතර මත ගැටුම් නිර්මාණයවී ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කර ඇත.

මෙකී ගැටුම සම්බන්ධයෙන් මො ෆාරා විවෘත මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කර තිබුණේ ලන්ඩන් මැරතන් තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදීය. ඔහු එහිදී ජනමාධ්‍ය වෙත පැමිණෙමින් අගුලු ලා තිබූ තම හෝටල් කාමරය තුළට පැමිණ යම් කිසිපුද්ගලයකු විසින් මුදල් සහ භාණ්ඩ සොරාගෙන ඇති බවක් අනාවරණය කර තිබිණි. තමන්ගේ බෑගයට හානි කර සොරාගැනීම සිදුකිරීමේ හැකියාව ඇත්තේ හෝටල් කාර්ය මණ්ඩලයට පමණක් බව මො ෆාරාගේ අදහසයය.

මීට ප්‍රතිචාර දක්වන ගෙබර්සිලාසි පවසා ඇත්තේ මො ෆාරාගේ මෙම අභූත චෝදනා සම්බන්ධයෙන් තමන් නීතිඥ සහය ලබාගන්නා බවයි. ‘මම අපහසුවෙන් උපයාගත් ගෞරවයට මෙහෙම හානි කරන්න දෙන්න බෑ. ඒ වගේමයි මගේ ව්‍යාපාරය. ඒක මෙවැනි සිද්ධි මගින් කඩා දමන්න ඉඩදිය නොහැකියි. ඒ නිසා මම නීතිවේදීන්ගේ උපෙදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා’

තවදුරටත් චෝදනා කරන ගෙබර්සිලාසි පවසන්නේ මො ෆාරා තමන්ව බිය ගැන්වීමට උත්සහ ගන්නා බවය. ඔහු ඒ සඳහා දුරකථනය ඔස්සේ කෙටි පණිවුඩ එවන බවත් ගෙබර්සිලාසි තවදුරටත් චෝදනා කර ඇත.

මො විසින් එවන ලද කෙටි පණිවුඩයක් යොමුකරමින් ගෙබර්සිලාසිට පවසා ඇත්තේ, ‘මම ලන්ඩන් නුවරදී මොනවගේ දෙයක් කරයිද කියන්න මම දන්නෙ නෑ. මාධ්‍ය හමුවකදී මම කරන දේවල් ඔබටත්, ඔබේ ව්‍යාපාරයටත් කොයි ආකාරයෙන් බලපාවිදැයි සහතික දෙන්න මට බැහැ’ යනුවෙනි. එය තමන්ට දුරකථනය යොදාගනිමින් කෙටි පණිවුඩයක් එවා කරන ලද බිය ගැන්වීමක් ලෙස ගෙබර්සිලාසි අර්ථ ගන්වා ඇත. මේ ආකාරයෙන්ම ලන්ඩන්හි මැරතන් තරගය පෙර මාධ්‍යවේදීන් අමතමින් තමන්ගේ භාණ්ඩ හා මුදල් සොරාගැනීමට ලක්වූ බව මො අනාවරණය කර තිබුණේය.

මේ වනවිට ඉතියෝපියාවේ නීතිඥවරයකුගේ සේවය ලබාගනිමින් මෙම සිද්ධිය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ෆාරා පාර්ශ්වය කටයුතු කර ඇත. අතරමැදියකු යොදාගෙන තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න යන්නේ යැයි ෆාරා පවසා ඇති අතර ඩොලර් දස දහසක මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමටද ඔහු කටයුතු කර ඇතැයි පැවසේ.

සිද්ධිය කවරක් වුවද එය ලෙහෙසි පහසු අන්තයකට ගමන් නොකරන බව නම් පැවසිය යුතුය. අප එසේ කියන්නේ ගෙබර්සිලාසි මෙන්ම මො ෆාරාද දුර ධාවනයේ උපක්‍රම මැනවින් දන්නා ධාවකයන් දෙදෙනකු වන බැවින් මෙම සිද්ධිය ලෙහෙසියෙන් අතහැර දමන්නට දෙදෙනාම සූදානම් නැත. එහෙයින් මෙම ගැටුම කොතනකින් අවසන් වෙයිද? කවදා අවසන් වෙයිද? කවුරුන් ජයගනීද යන්න දැන්ම කිව නොහැකිය. කෙසේ නමුත් මෙම ගැටුම හේතුවෙන් එක දෙයක් සිදුවන බව නම් පැවසිය යුතුය. ඒ මැරතන් නමැති නගරයේ උපත ලබා ලෝකයේ ජනාදරයට පත් මැරතන් ක්‍රීඩාවට යම් කළු ලපයක් එක්වීමට මෙම ගැටුම යම් ආකාරයකින් බලපෑම් කරනු ඇති බවය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා