මැටි පිටියේ ටෙනිස් වීරයා රෆායල් නඩාල්

 ඡායාරූපය:

මැටි පිටියේ ටෙනිස් වීරයා රෆායල් නඩාල්

පසුගිය ඉරිදා අවසන් වූ බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සමත් වූයේ ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් විසිනි. අවසන් තරගයේදී රුසියාවේ ඩැනියෙල් මෙඩ්වෙදෙව් පරාජය කරමින් තීම් තරගාවලිය ජය ගන්නා බවට බොහෝ දෙනා විශ්වාසය පළ කළහ. ඒ අන්කිසි හේතුවක් නිසා නොව අවසන් පූර්ව වටයේදී ඩැනියෙල් තීම් අතින් පරාජය වූයේ රෆායල් නඩාල් වන බැවිනි.

නඩාල් යනු ටෙනිස් පිටියේ සටන්කාමී චරිතයකි. බාසිලෝනා විවෘත තරගාවලිය යනු පසුගිය කාලයේදී තනිකරම රෆායල් නඩාල්ගේ බූදලයක් බවට පත්ව තිබුණි. වසර එකොළහක්ම එහි ශූරතාව සටහන් වූයේ නඩාල්ගේ නමටය. වයස අවුරුදු 19 වීමටද පෙර 2005 වසරේදී පළමු වරට බාසිලෝනා විවෘත තරගාවලිය ජයගත් නඩාල් 2006, 2007, 2008 සහ 2009 වසරවලදීද තරගාවලිය ජය ගනිමින් පිට පිටම පස්වරක් තරගාවලිය ජය ගැනීමට සමත් විය. ඒ එවැනි දස්කමක් කළ පළමු වැන්නා ලෙසිනි.

එතැනින් නොනැවතුණු නඩාල් 2011, 2012 සහ 2013 වසරවලදීද පිට පිටම තරගාවලිය ජය ගැනීමට සමත් විය. 2016, 2017 සහ 2018 වසරවලදීද බාසිලෝනා තරගාවලියේ කිරුළ ලියැවුණේ රෆායල් නඩාල් නමටය.

පළමු වරට 2005 වසරේදී බාසිලෝනා විවෘත තරගාවලිය ජයගත් නඩාල් එම වසරේදීම ප්‍රංශ විවෘත තරගාවලියද ජය ගනිමින් පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. ඒ සමගව එවක සිටි ප්‍රධානම ටෙනිස් ක්‍රීඩකයන් නඩාල් කෙරෙහි ඉමහත් බියක් දක්වන්නට විය. වමතින් ටෙනිස් පිත්ත හසුරුවන නඩාල් මුල් කාලයේ ඉතා දැඩි පහරවල් එල්ල කරන අතිශය ආක්‍රමණික ක්‍රීඩකයෙක් විය. තරගය ආරම්භයේදී නඩාල් ඉතා ඉක්මනින්ම ලකුණු කිහිපයක් ලබා ගන්නා අතර ප්‍රතිවාදියා දුර්මුඛ කරන ප්‍රබල සහ වේගවත් පහරවල් ඔහු ඒ සඳහා යොදා ගනු ලැබිණි.

නඩාල්ගේ ආගමනයත් සමගම ස්පාඤ්ඤයේ ටෙනිස් ක්‍රීඩාව නැවත වරක් ඉහළ තලයකට පැමිණි අතර 2005 සිට 2018 දක්වා කාලය තුළ නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලින්හි කේවල ශූරතා 17ක් තම නමට සටහන් කරගැනීමට සමත් විය. ඒ අතරින් සුවිශේෂ වන්නේ ප්‍රංශ විවෘත තරගාවලියද එකොළොස් වතාවක් ජය ගැනීමට සමත් වීමයි. බාසිලෝන විවෘත තරගාවලිය සමගම ප්‍රංශ විවෘත තරගාවලියද 2005, 2006, 2007 සහ 2008 වසරවලදී පිට පිටම ජය ගැනීමට නඩාල් සමත් විය. ප්‍රංශ විවෘත තරගාවලියේ සුවිශේෂම කාලපරිච්ඡේදයක් සටහන් කරමින් 2010 වසරේ සිට 2014 දක්වා වසර පහක් පිට පිටම ශූරතාව හිමිකර ගැනීමටද සමත් වූයේ නඩාල් ය.

ඒ සමගම ක්ලේ කෝට් (මැටි ක්‍රීඩාංගණ) ටෙනිස් වීරයා බවට නඩාල් පත් විය. බාසිලෝනා තරගාවලිය මෙන්ම ප්‍රංශ විවෘත තරගාවලියද පවත් වන්නේ ක්ලේ කෝට් තරගාවලි ලෙසිනි. ක්ලේ කොට්වලදී නඩාල්ට අභියෝග කිරීමට කිසිවෙක් සමත් වූයේ නැත. නැවතත් 2017 සහ 2018 වසර දෙකේද ප්‍රංශ විවෘත තරගාවලිය ජයගත් නඩාල් එම තරගාවලිය ද එකොළොස් වතාවක් ජය ගැනීමට සමත් විය. එවැනි දස්කමක් සමගින් නඩාල් අසලකටවත් පැමිණීමට කිසිදු ක්‍රීඩකයෙක් මෙතෙක් සමත්ව නොමැත. ග්‍රෑන්ඩ් ස්ලෑම් තරාවලි අතරින් ප්‍රධානම තරගාවලියක් වන ප්‍රංශ විවෘත තරගාවලිය 11 වතාවක් ජයගත් එකම ක්‍රීඩකයා වන්නේද නඩාල්ය.

නඩාල්ගේ දස්කම් පිරික්සීමේදී පෙනී යන ප්‍රධාන කාරණාවක් වන්නේ ප්‍රංශ විවෘත තරගාවලිය ජය ගැනිම සඳහා ඔහු හැම විටම බාසිලෝනා තරගාවලිය උපකාර කරගන්නා බවයි. 11 වතාව බැගින් මෙම තරගාවලි දෙකම ජයගෙන ඇති නඩාල් ඉන් වසර 9දීම තරගාවලි දෙකම ජය ගැනීමට සමත්ව ඇත.

2010, 2013 සහ 2017 වසරවලදී අමෙරිකානු විවෘත තරගාවලිය ජය ගන්නා ඔහු 2009 වසරේදී ඔස්ටේලියානු විවෘත තරගාවලියද ජය ගනී. 2010 වසරේදී අමෙරිකානු විවෘත තරගාවලිය ජය ගැනීමත් සමගම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරම ජය ගත් ටෙනිස් ශූරයෙක් බවට නඩාල් පත් විය. ඒ ඊට පෙර 2008 සහ 2010 වසර වලදී ටෙනිස් ශූරයන්ගේ සිහිනය වන විම්බල්ඩන් තරගාවලියද දෙවරක්ම ජය ගනිමිනි.

2016 වසරේ සිට නඩාල්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන කාලෝස් මෝයා පවසන්නේ නඩාල් ස්පාඤ්ඥ ටෙනිස් ක්‍රීඩාවේ මෙන්ම අන්තර් ජාතික ටෙනිස් පිටියේද බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙක් බවයි. ස්පාඤ්ඤ ජාතික මෝයාද හිටපු ජාත්‍යන්තර ටෙනිස් ශූරයෙකි. 1998 ප්‍රංශ විවෘත තරගාවලිය ජයගත්තේ කාලෝස් මෝයා විසිනි. පසුගිය වසර දෙකක කාලයේදී නඩාල්ගේ සාර්ථකත්වය පසුපස සිටි සුවිශේෂම චරිතයද ඔහුගේ පුහුණුකරු මෝයායි.

පසුගියදා නඩාල් අවසන් පූර්ව තරගයෙන් බාසිලෝනා තරගාවලියෙන් ඉවත් වීම ස්පාඤ්ඤ ටෙනිස් ලෝලීන්ගේ දුක්ට හේතුවී ඇත්තේ එළැඹෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳවද යම් කිසි චකිතයක් ඇති කරවමිනි. මන්ද බාසිලෝනා ක්ලේ කෝට් ටෙනිස් වීරයා ඉන් පරාජය වීම ප්‍රංශ ක්ලේ කෝට් තරගාවලියටද අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇතැයි ඔවුන් සිතන බැවිනි.

32 හැවිරිදි නඩාල් පිළිබඳව ලොව පුරා ටෙනිස් ලෝලීන් අවධානයෙන් සිටින අතර බාසිලෝනා පරාජය සමගම ප්‍රංශ තරගාවලියේ දක්වන දස්කම් කෙසේ වේවිදැයි දැන් සිටම අනාවැකි පලකිරීමටද පටන් ගෙන ඇත. ඒ අතර අසුබවාදී මෙන්ම සුබවාදී අනාවැකිද ඇත. ඒ සියල්ල මැද නඩාල් ප්‍රංශ විවෘත තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටී.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා