36 වැනි වරට පැවැති ඇතුගල්පුර සටනත් විසඳුමකින් තොරයි

36 වැනි වරට පැවැති ඇතුගල්පුර සටනත් විසඳුමකින් තොරයි

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර වූ 36 වැනි “ඇතුගල්පුර සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙවරත් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය හිමිකරගත් සාන්ත ආනා පිලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මලියදේව ඉනිම ලකුණු 172කට සීමාවිණි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ සාන්ත ආනා පිලේ දකුණත් වේගපන්දු යැවූ රිශිත පෙරේරා ලකුණු 15කට කඩුලු 4ක් දවාලමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම දියත්කළ සාන්ත ආනා විද්‍යාල කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කළේය. කවිඳු රණසිංහ පන්දු 87කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 64ක් රැස්කළ අතර, ලසිත් වර්ණකුලසූරිය පන්දු 169කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 55ක් රැස් කරමින් කැපීපෙනිණි.

තරගයේ සම්මාන සියල්ලම ශාන්ත ආනා පිලට හිමිවිය. දක්ෂතම පන්දු යවන්නා ලෙසින් රිෂිත පෙරේරා, ලසිත් වර්ණකුලසූරිය දක්ෂතම පිතිකරු වශයෙන්ද, ක්‍රිෂාන්ත පියතිලක දක්ෂතම පන්දු රකින්නා ලෙසද, කවිඳු රණසිංහ තරගයේ වීරයා වශයෙන් ද සම්මාන ලැබූහ.

මලියදේව: පළමු ඉනිම (පන්දුවාර 53) 172 (චාළුක අතපත්තු 48, විදත් බටේපොල 32, සුපුන් සුමනරත්න 26, රිශිත පෙරේරා 4/15, පසිඳු තෙන්නකෝන් 3/53)

සාන්ත ආනා: පළමු ඉනිම (පන්දුවාර 94.2කදි කඩුලු 9ක් දැවී) 278 (කවිඳු රණසිංහ 64, ලසිත් වර්ණකුලසූරිය 55, පිවිතු ප්‍රනාන්දු 36, ක්‍රිෂාන්ත පියතිලක 35, මනාන් මුසම්මිල් නොදැවී 22, බ්‍රයන් කරුණානායක 2/29, විදත් බටේපොල 2/45)

මලියදේව: දෙවැනි ඉනිම (පන්දුවාර 28කදී කඩුලු 3ක් දැවී) 109 (කවීන් බණ්ඩාර නොදැවී 29, සුපුන් සුමනරත්න 27, බ්‍රයන් කරුණානායක නොදැවී 26, මුදිත ප්‍රේමදාස 24)

[ඉෂානි යද්දෙහි]

 

 

මාතෘකා