ආදරවන්තයින්ගේ සටන වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගය

ආදරවන්තයින්ගේ සටන වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගය

දිගු කලකට පසු මහින්ද විදුහල එක්දින තරගය ජයගනී

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාව දුටු ආදරවන්තයන්ගේ සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් ලබමින් වසර 9කට පසුව රිච්මන්ඩ් විද්‍යාලය පැරදවීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය.

ගාල්ල මහින්ද විද්‍යාලය මෙම එක්දින තරගය මීට පෙර දෙනුවන් රාජකරුණාගේ නායකත්වය යටතේ අවසන් වරට ජය ලබා තිබිණ.

තරගයේ තවත් පන්දු 34ක් ඉතිරිව තිබිය දී ගාල්ල මහින්ද විද්‍යාලය මෙම තරගය ජයගත් අතර, හංසික වැළිහිඳ තරගයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් රිච්මන්ඩ් පිල පළමුවෙන් පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 7ක් දැවී ලකුණු 170ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම දියත්කළ මහින්ද පිල පන්දුවාර 44.2කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 171ක් රැස් කළේය.

රිච්මන්ඩ් ඉනිමේ විටෙක කඩුලු 7ක් දැවී ලකුණු 92ක්ව තිබුණු අවස්ථාවේ දී පිටියේ එක් වූ දිමුත් සඳරුවන් සහ සම්මු විමුත් එක්ව ලකුණු 78 නොබිඳුණු සබඳතාවක් ගොඩනංවමින් රිච්මන්ඩ් ලකුණු පුවරුව 170 ලෙස සනිටුහන් කළහ.

එහි දී දිමුත් සඳරුවන් පන්දු 52ක දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 45ක් රැස් කළ අතර, සම්මු විමුත් පන්දු 58ක දී ලකුණු 35ක් රැස් කළේය. කුෂාන් මධූෂ ලකුණු 32කට කඩුලු 2ක් දවාලීය.

දෙදින මහා ක්‍රිකට් තරගයේදී නොසිතූ පරාජයක් ලබා ජයග්‍රහණයක දැඩි අවශ්‍යතාවයෙන් පෙළුණු මහින්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඒ වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ආරම්භක පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන සහ කෞෂිත කොඩිතුවක්කු පළමු කඩුල්ලට ලකුණු 65ක අගනා සබඳතාවයක් ගොඩනැංවූහ. නවෝද් පරණවිතාන පන්දු 40කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් රැස් කළ අතර, කෞෂිත කොඩිතුවක්කු පන්දු 83කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 35ක් රැස් කළේය.

මහින්ද පිලේ අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා වූ හංසික වැළිහිඳ පන්දු 75කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් රැස් කළ අතර, නිපුන් මාලිංග පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමගින් ලකුණු 21ක් රැස් කළේය. දිලුම් සුධීර ලකුණු 19කට කඩුලු 3ක් දවාලූ අතර, දිමුත් සඳරුවන් ලකුණු 26කට කඩුලු දෙකක් දවාලීය.

තරගයේ ජයසංකේත ප්‍රදානයේ මහින්ද විද්‍යාලයේ නිපුන් මාලිංග දක්ෂතම පන්දු රකින්නා ලෙසින් ද, රිච්මන්ඩ් විද්‍යාලයේ දිලුම් සුධීර දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද, රිච්මන්ඩ් විද්‍යාලයේ දිමුත් සඳරුවන් දක්ෂතම පිතිකරු ලෙසින් ද, මහින්ද විද්‍යාලයේ රංසික වැළිහිඳ තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබූහ.

ලකුණු සාරාංශය

රිච්මන්ඩ් විද්‍යාලය: (පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී)170

(දිමුත් සඳරුවන් නොදැවී 45, සම්මු විමුත් නොදැවී 35, දිලුම් සුධිර 18, භානුක මනෝහර 18, කුෂාන් මදූෂ 2/32)

මහින්ද විද්‍යාලය: (පන්දුවාර 44.2කදී කඩුලු 7ක් දැවී) 171

(නවෝද් පරණවිතාන 35, කෞෂිත කොඩිතුවක්කු 35, හංසික වැළිහිඳ 35, නිපුන් මාලිංග 21, දිලුම් සුධීර 3/19, දිමුත් සඳරුවන් 2/26)

[ඉෂානි යද්දෙහි]

 

මාතෘකා