ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන විස්සයි 20 තරගය අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන විස්සයි 20 තරගය අද

සුපිරි පන්දුවාරයෙන් පළමු තරගයේදී පරාජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ සහභාගිවන දෙවැනි පන්දුවාර විස්සයි විස්සයි තරගයට අද සහභාගි වෙයි. තරගය සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාර්ක් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපේක්ෂාව වී ඇත්තේ කෙසේ හෝ වැඩි ලකුණු ප්‍රමාණයක් පුවරුවට රැගෙන ඒමේ අභියෝගය ජයගැනීමය. පළමු තරගය පරාජයවීමට ඉවහල් වූයේද ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා කඳවුරේ අදහසවී ඇත. ඒ අනුව අද තරගය කෙසේ හෝ ජයගැනීම මගින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා විශ්වාසය ගොඩනංවා ගැනීම ඔවුන්ගේ ඒකායන අපේක්ෂාවවී තිබේ. යම් හෙයකින් තරගයේ ජය සත්කාරකයන් අත්පත් කරගතහොත් එක්දින තරගාවලිය 5-0ක් ලෙස පරාජය ලැබූ ආකාරයටම පන්දුවාර විස්ස තරගාවලියේද පරාජය පිළිගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා කණ්ඩායම අවබෝධකරගෙන ඇත. ඒ අනුව දෙවැනි තරගයේ ජයග්‍රහණය සටහන් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බව නොරහසකි. දැන් තමන්ගේ හැකියාව තමන්ම විශ්වාස නොකරන ස්ථානයකට පත්ව ඇති හෙයින් තරගය ජයගැනීමෙන් ජයග්‍රාහී රිද්මය කණ්ඩායම තුළ දල්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව සැබෑය. පටු වාද භේද ඉවතලා කණ්ඩායමක් වශයෙන් පූර්ණ විශ්වාසයකින් යුතුව ක්‍රීඩා කිරීමට සමත් වන්නේ නම් අද තරගයට හොඳින් පිවිසීමට ඇති අවස්ථාව ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් තවමත් ශ්‍රී ලංකා කඳවුර තුළ ඇත්තේ අවිශ්වාසය සහ අපේක්ෂා කඩවීම් පමණක් බව පෙනෙන්නට තිබේ. ස්ටීව් රික්සන්ගේ පුහුණුකාරිත්වය යටතේ එකී අවිශ්වසනීයත්වය බිඳදැමීමට අවස්ථාවක් උදාවේදැයි සියලු දෙනා අපේක්ෂාවෙන් පසුවෙයි.

අද තරගයේදී දකුණු අප්‍රිකානු පිල ජේ.පී.ඩුමිනි විසින් මෙහෙයවයි. ඊට හේතුවී ඇත්තේ නිත්‍ය නායක ෆැෆ් ඩු ප්ලෙසිස් පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් තරග ද්විත්වයෙන් විවේක ගන්වා තිබීමය. ඔහු වෙනුවට නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට එරට තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය හේතුවෙනි. එම තරගාවලියට ක්‍රීඩාකරන දක්ෂම දකුණු අප්‍රිකානු පිල තෝරාගැනීම ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් පුහුණුකරු ඔටිස් ගිබ්සන් සඳහන්කර තිබුණේ ක්‍රීඩක නාමයට වඩා වර්තමානයේ ඔවුන්ගේ දක්ෂතා රිද්මය සැලකිල්ලට ගැනීම සිදුකළ යුතු බවයි. ඒ අනුව ප්‍රබල නම් වෙනුවට යොවුන් ක්‍රීඩකයන් කීපදෙනෙකුටද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දොරටු විවෘතවීමට ඉඩ ලබාදීම වෙනුවෙන් මෙම පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය යොදාගැනීම ඔවුන්ගේ අරමුණවී ඇත.

දකුණු අප්‍රිකානු සංචිතය

ජේ.පී.ඩුමිනි(නායක), රීසා හෙන්ඩ්‍රික්ස්, ඒඩ්න් මාර්ක්රාම්, ඩේවිඩ් මිලර්, ක්‍රිස් මොරිස්, ඇන්රිච් නොර්ට්ජ්, ඇන්ඩිල් පෙලුන්ක්වායෝ, ඩ්වේන් ප්‍රිටෝරියස්, සිනෙටෙම්බා ක්වෙසිල්, ටැබ්රාසි, ලුතෝ සිපාමාලා, ඩේල් ස්ටේන්, රැසී වෑන් ඩර් ඩුසෙන්.

ශ්‍රී ලංකා සංචිතය

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රියමාල් පෙරේරා, සධීර සමරිවික්‍රම, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්

මාතෘකා