සික්ස් නේෂන්ස් රග්බි කිරුළ වේල්සයට

 ඡායාරූපය:

සික්ස් නේෂන්ස් රග්බි කිරුළ වේල්සයට

යුරෝපයේ පැවැත්වෙන ප්‍රධානම රග්බි තරගාවලියක් වන යුරෝපයේ ප්‍රබල රග්බි ජාතීන් හයක් තරග වැදි ‘සික්ස් නේෂන්’ රග්බි තරගාවලියේ 2019 ශූරතාව හිමිකර ගැනීමට වේල්සය සමත් විය. තමන් සහභාගී වූ තරග පහම ජයගත් වේල්සය අපරාජිතවම ශූරතාව ජය ගැනීම විශේෂත්වයකි. දැනට ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් සටහනේ දෙවැනි ස්ථානයේ සිටින කණ්ඩායම ලෙසද වේල්සය සැලකිය හැකිය.

පළමු තරගයේදී ප්‍රංශය ලකුණු 24-19ක් ලෙස පරාජය කළ වේල්ස් කණ්ඩායම ඉතාලිය පරාජය කළේ ලකුණු 26-15ක් ලෙසිනි. ඔවුන්ගේ සාම්ප්‍රදායික ප්‍රතිවාදියෙක් වන ප්‍රබල එංගලන්ත කණ්ඩායමද වෙල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 21-13ක් වශයෙන් පරාජය වූ අතර ස්කොට්ලන්තය ලකුණු 18-11ක් ලෙස වේල්සය ඉදිරියේ දණ නැමුවේය. ලීග් තරගාවලියක් වන මෙම සික්ස් නේෂන් තරගාවලියේ වේල්සය මුහුණ දුන් අවසන් තරගය වූයේ දැනට ලොව අංක තුන කණ්ඩායම වන අයර්ලන්ත ය සමග තරගයයි. එම තරගයද ලකුණු 25-07ක් ලෙස පහසුවෙන්ම ජයගත් වේල්සය මෙවර සික්ස් නේෂන් රග්බි ශූරයින් විය.

සික්ස් නේෂන් රග්බි තරගාවලියේ ආරම්භය 1883 වසර දක්වා පමණ දිව යන අතර මුලින්ම ආරම්භ වී ඇත්තේ මහා බ්‍රිතාන්‍යට අයත් රටවල් අතර තරගාවලියක් ලෙසිනි. ඒ සඳහා එංගලන්තය, ස්කොට්ලන්තය, අයර්ලන්ත වේල්සය ඇතුළත් විය.

ප්‍රංශයද මෙම රටවල් සමග එක්වී ‘ෆයිව් නේෂන්’ තරගාවලියක් පැවිත්වීම ආරම්භ වූයේ 1910 වසරේ සිටය. 1932 සිට ප්‍රංශය නොමැතිව අනෙක් රටවල්වල සහභාගීත්වයෙන් පමණක් නැවත තරගාවලිය පැවැත්වූ අතර ප්‍රංශය 1940 දී නැවතත් එක්වීමෙන් පසුව ‘ෆයිව් නේෂන්’ තරගාවලිය යළි ආරම්භ විය.

‘සික්ස් නේෂන් තරගාවලිය ලෙස නම් වන්නේ 2000 වසරේදී මෙම රටවල් අතරට ඉතාලියද එක්වීමෙන් පසුය.

සමස්තයක් ලෙස ගත් විට 1883 වසරේ සිට මේ දක්වා සික්ස් නේෂන් ශූරතාව වැඩිම වාර ගණනක් දිනා ඇති කණ්ඩායම වන්නේ වේල්ස් කණ්ඩායමයි. ඔවුන් 39 වතාවක් ශූරතාව හිමිකර ගැනීමට සමත් වී ඇත. ඉන් අවස්ථා 12කදී සම ශූරතාව දිනා තිබීමද විශේෂත්වයකි. ඒ සමගම වර්තමාන රග්බි ලෝක ශුරයන් වන නවසීලන්තයට මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේදී අභියෝග කරන ප්‍රධාන රටක්් බවටද පත්වී ඇත්තේද වේල්සයයි.

ලෝක රග්බි තරගාවලිය සඳහා තවත් ඇත්තේ මාස හයක පමණ කාලයක් වන අතරම තවමත් ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි පළමු වැනි ස්ථානයේ රැඳී සිටීමට නවසීලන්තය සමත්ව සිටී. තුන් වතාවක් ලෝක රග්බි කිරුළ හිමිකර ගෙන සිටින නවසීලන්තය පසුගිය ලෝක ශූරතා දෙකම පිට පිටම ජය ලැබීය. ඔවුන් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 92.54ක් ලබා ගනිමිණි.

නවසීලන්තයට පසු පසින් දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 89.96ක් ලබා සිටින වේල්ස් කණ්ඩායමයිි. සික්ස් නේෂන් කිරුළ අපරාජිතවම යළිත් හිමිකර ගැනීමෙන් පසු ඔවුන් ගේ ඉදිරියට පැමිණීම ද ඉදිරි ලෝක කුසලානයේ තරගකාරීත්වය ඉහළ දමනු ඇත. වේල්සය මෙතෙක් රග්බි ලෝක ශූරතාව දිනා නැති අතර 1987 ලෝක ශූරතා රග්බි තරගාවලියේ 3 වැනි ස්ථානයත් 2011 තරගාවලියේ 4 වැනි ස්ථානයත් දිනා ගැනීමට සමත්වූ කණ්ඩායමයි.

මෙතෙක් ලෝක ශූරතා රග්බි තරගාවලියක අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් නොලැබුවද අයර්ලන්තය එළැඹෙන ලෝක ශූරතා රග්බි තරගාවලියේ ශූරතාව සඳහා ප්‍රබල සටනක් දෙනු ඇති බවට හොඳම ඉඟිය වන්නෛ් ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් හි තෙවැනි ස්ථානයට ඔවුන් පත්වීමයි. අයර්ලන්තය ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 88.69ක් ලබා සිටී.

2003 වසරේ ලෝක රග්බි ශූරයන්වූ සහ අවස්ථාවන් දෙකකදී අනුශූරයන්වූ එංගලන්තයට එහි හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි. ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 87.27කි. 1995 සහ 2007 යන අවස්ථාවන් දෙකේදීම ලෝක රග්බි කිරුළ හිමිකර ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 84.58ක් ලබා ගනිමින් එම සටහනේ පස් වැනි ස්ථානයට පත්ව සිටී. 1991 සහ 1999 ලෝක රග්බි ශූරතා දිනූ සහ අවස්ථා 2කදී අනුශූරතාවය දිනූ ඔස්ට්‍රේලියාවද තරමක් පසු බැස සිටින අතර ඔවුන් හයවැනි ස්ථානයේ පසුවේ. එක් අවස්ථාවක හෝ ලෝක රග්බි ශූරතාව දිනා ගැනීමට අසමත් වුවද අවස්ථා තුනකම අවසන් තරගයට එක්වූ ප්‍රබල ප්‍රංශ කණ්ඩායමද සික්ස්නේෂන් රග්බි තරගාවලියේ දී ලැබූ පසු බැසීම හමුවේද මෙම සටහනේ සිටින්නේ අට වැනි ස්ථානයේය.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ එකම ආසියානු නියෝජනය මෙන්ම මෙවර සත්කාරකත්වය දරන රාජ්‍යද වන ජපානය ලකුණු 75.24ක් ලබා ගනිමින් සටහනේ 11 වැනි ස්ථානයේ පසුවේ.

ලොක් රග්බි තරගාවලිය ආරම්භ වන සැප්තැම්බර් මාසයට පෙර මෙම ශ්‍රේණිගත කිරීම් සටහන වෙනස් විය හැකි වුවද වේල්ස් සහ අයර්ලන්ත කන්ඩායම් පසුගිය වසරේ සිටම අභියෝගාත්මක කණඩායම් දෙකක් ලෙසින් ඉදිරියට පැමිණි අතර එය මෙතෙක් ලෝක රග්බි කිරුළ හිමිකර ගත් කණ්ඩායම්වලට ප්‍රබලම අභියෝගයකි.

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි ලකුණු සටහන

1.නවසීලන්තය 92.54

2.වේල්ස් 89.96

3.අයර්ලන්තය 88.69

4.එංගලන්තය 86.27

5.දකුණු අප්‍රිකාව 84.58

6.ඔස්ට්‍රෙිලියාව 82.40

7.ස්කොට්ලන්තය 80.17

8.ප්‍රංශය 79.42

9.ෆීජි 77.95

10.ආර්ජන්ටිනාව 77.05

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා