අන්තර් සමාජ පළමු පෙළ එක්දින තරගාවලිය

 ඡායාරූපය:

අන්තර් සමාජ පළමු පෙළ එක්දින තරගාවලිය

ශූරතාව එස්.එස්.සී. හිමිකර ගනියි

ධනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩිගෙන් ශතක දෙකක්

ආරම්භක පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා අන්තර් සමාජ පළමු පෙළ එක්දින තරගාවලියේ ශූරතාව පහසුවෙන්ම හිමිකර ගැනීමට එස්.එස්.සී. කණ්ඩායම සමත් විය. කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී ඔවුන් අතින් කඩුලු 7කින් පරාජය වූයේ සී.සී.සී. කණ්ඩායමයි.

එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවූ ධනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩි පන්දු 214කින් ලකුණු 212ක සබඳතාවක් පවත්වා ගනිමින් සී.සී.සී. පන්දු යවන්නන්ට හොඳ හැටි පහර දීමට සමත් වූහ. ගුණතිලක පන්දු 123කින් ලකුණු 116ක් රැස් කළ අතර ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. වීරක්කොඩි ගුණතිලකට වඩා වේගයෙන් ලකුණු රැස් කළ අතර ඔහු පන්දු 97කින් ලකුණු 101ක් රැස් කිරීමට සමත් විය. වීරක්කොඩිගේ ඉනිමට හතරේ පහර 14ක් අන්තර්ගත විය.

ආරම්භක පිතිකරුවන්ගේ මෙම සුපිරි සබඳතාව නිසා ජයග්‍රහණය සඳහා අවශ්‍යකර තිබූ ලකුණු සංඛ්‍යාව පන්දුවාර 44.2කදී කඩුලු 3ක් පමණක් දැවී රැස් කිරීමට එස්.එස්.සී. කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සී.සී.සී. කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබාගත් අතර ඔවුන්ගේ ඉනිමේ එකම අර්ධ ශතකයක් හෝ වාර්තා නොවීම කැපී පෙනුණ සිදුවීමකි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 49ක් රැස් කළ මිනෝද් භානුකයි. ඩිල්ෂාන් මුණවීරද ලකුණු 40ක් තම පිලට එක් කිරීමට සමත් විය. ඊට අමතරව මාධව වර්ණපුර ලකුණු 39ක් සහ වනිදු හසරංග ලකුණු 25ක් රැස් කළහ.

ලකුණු සාරාංශය

සී.සී.සී. (පන්දුවාර 50කදී කඩුලු 8ක් දැවී) 250

(මිනෝද් භානුක 49, ඩිල්ෂාන් මුණවීර 40, මාධව වර්ණපුර 39, වනිදු හසරංග 25, හිමේෂ් රාමනායක 2/26)

එස්.එස්.සී. (පන්දුවාර 44.2කදී කඩුලු 3ක් දැවී) 254

(ධනුෂ්ක ගුණතිලක 116, සඳුන් වීරක්කොඩි 101, වනිදු හසරංග 1/27)

මාතෘකා