ආදරවන්තයින්ගේ සටන අද සහ හෙට

 ඡායාරූපය:

ආදරවන්තයින්ගේ සටන අද සහ හෙට

ගාල්ල මහින්ද සහ රිච්මන්ඩ් විදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන ආදරවන්තයින්ගේ සටන 114 වැනි වරටත් අද(15) සහ හෙට (16) යන දෙදින තුළ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි.

මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය තුළ රිච්මන්ඩ් විද්‍යාලය අවසන් පාසල් 12 අතරට තේරී පත් වු අතර මහින්ද විද්‍යාලය ඉන් ඉදිරියට යමින් මේ වන විටත් අවසන් පාසල් 08 අතරට ද තේරී පත් වී ඇත.

රිච්මන්ඩ්- මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසය 1905 වසර දක්වා දිවයයි. මෙතෙක් පැවැති තරග අතුරින් මහින්ද විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය සම තරගාවලි ජයලබා ඇති අතර එම සංඛ්‍යාව තරග 23 කි. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් ව ඇත. වර්ෂ දෙකකදී මෙම මහා තරගය පවත්වා නොමැත. අවසන් වරට මහින්ද විද්‍යාලය මෙම මහා ක්‍රිකට් තරගයේ ජය 2008 වසරේ දී හිමිකරගත් අතර රිච්මන්ඩ් විද්‍යාලය 2015 වර්ෂයේ අවසන් වරට ජයග්‍රහණය කර ඇත.

මෙවර තරගාවලිය තුල තරග 17 කට සහභාගී වී ඇති මහින්ද කණ්ඩායම පුර්ණ ජයග්‍රහණ හතරක් ලබා ගෙන ඇත්තේ කොළඹ ඉසිපතන, මීගමුව මාරිස්ටෙලා, කොට්ටේ ජනාධිපති,බම්බලපිටිය ශාන්ත පීතර යන විද්‍යාල වලට එරෙහිවය. කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය හමුවේ පරාජයට පත්ව ඇති මහින්ද කණ්ඩායමේ ඉතිරි තරග ජයපරාජයෙන් තොරව විසඳී ඇත්තේ පළමු ඉනිමේ ජයග්‍රහණ 09 ක් සමඟිනි. රිච්මන්ඩ් කණ්ඩායම මෙවර පාසල් තරගවාරය තුළදී තරග 15 ට සහභාගී වී පුර්ණ ජයග්‍රහණ දෙකක් වාර්තා කර ඇත්තේ මාතර ශාන්ත තෝමස් සහ සර්වේසස් විද්‍යාලයන්ට එරෙහිවය. ඔවුන්ගේ ඉතිරි සියලු තරග ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.

මහින්ද විද්‍යාලය මෙවර තරගාවලියේ දී මෙහෙය වනු ලබන්නේ සිව්වන වසර ක්‍රීඩකයෙකු වන විනුර දුල්සර විසිනි. ඔහු මෙම තරග වාරයේ ශතක දෙකක් අර්ධ ශතක 04 ක් සමඟින් ලකුණු 800 සීමාව ඉක්මවා තිබේ. රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ තවීෂ අභිෂේක් විසිනි. ඔහු මෙවර තරගාවලිය තුළශතක 01 අර්ධ ශතක 03 ක් සමඟින් ලකුණු 600 සීමාව ඉක්මවා යමින් රිච්මන්ඩ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම,

තවීෂ අභිෂේක් (නායක), ආදිත්‍ය සිරිවර්ධන (උප නායක) , සදුන් මෙන්ඩිස්, දිලුම් සුදීර, ෂම්මු විමුත්, අම්ෂි ද සිල්වා, විනුජ කිරිඇල්ල, චමත් දිල්හාර, නිම්නාද කිරින්දගේ, දිමුත් සදරුවන්, භානුක මනෝහර, කල්ප නෙත්සර, කිවදු නිර්මාණ, සනුල් සංදීෂ්,අචින්ත ඉෂිවර, ධම්මික සුදර්ශණ (පුහුණුකරු), ලක්මාල් ද සිල්වා (සහය පුහුණුකරු), එස්.ආර්. නානායක්කාර ( ක්‍රිකට් භාර ආචාර්ය)

මහින්ද විද්‍යාලයීය කණ්ඩායම,

විනුර දුල්සර (නායක), අශේන් කණ්ඩම්බි (උප නායක) හන්සික වැලිහිද, නවෝද් පරණවිතාන, නිපුන් මාලිංග, පසන් පෙතංගොඩ, සුභාණු රාජපක්ෂ, ලහිරු භාෂණ, කෞෂිත කොඩිතුවක්කු, සදෙව් ඉදුවර, කුෂාන් මධුෂ, කවීෂ මල්ලියාවඩු, ඔසිදු කුලරත්න, ධනුජ ඉදුවර, රන්මිණ හෙට්ටිආරච්චි, අශේන් ශාමික, අනිල් රිදියගම්මනගෙදර (පුහුණුකරු), සුනෙත් කුඩාහෙට්ටි (සහය පුහුණුකරු), වයි.නිශාන්ත කුමාර (ක්‍රිකට් භාර ආචාර්ය)

[භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්][ඉෂානි යද්දෙහි]

මාතෘකා