ලෝක රග්බි පිටියේ නවසීලන්තය තවමත් පෙරමුණේ

 ඡායාරූපය:

ලෝක රග්බි පිටියේ නවසීලන්තය තවමත් පෙරමුණේ

ලෝක රග්බි තරගාවලිය සඳහා තවත් ඇත්තේ මාස හයක පමණ කාලයකි. සික්ස් නේෂන් රග්බි තරගාවලිය මේ වන විට යුරෝපයේ දී පැවැත්වේ. එම තරගාවලියේ අවසන් සතියේ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා (16) ය. කෙසේ වුවත් තවමත් ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු වැනි ස්ථානයේ රැඳී සිටීමට සමත්ව ඇත්තේ නවසීලන්තයයි. තුන් වතාවක් ලෝක රග්බි කිරුළ හිමිකර ගෙන සිටින නවසීලන්තය පසුගිය ලෝක ශූරතා දෙකම පිට පිටම ජය ලැබීය. ඔවුන් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 92.54ක් ලබා ගනිමිනි.

නවසීලන්තයට පසු පසින් දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 89.92ක් ලබා සිටින අයර්ලන්තයයි. මෙතෙක් ලෝක ශූරතා රග්බි තරගාවලියක අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් නොලැබුවද අයර්ලන්තය එළැඹෙන ලෝක ශූරතා රග්බි තරගාවලියේ ශූරතාවය සඳහා ප්‍රබල සටනක් දෙනු ඇති බවට එය හොඳම ඉඟියකි.ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් හි තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ වේල්ස් කණ්ඩායමයි. පැවැත්වෙමින් තිබෙන සික්ස් නේෂන් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටින එකම කණ්ඩායම වන වේල්ස් කණ්ඩායමේ ඉදිරියට පැමිණීම ද ඉදිරි ලෝක කුසලානයේ තරගකාරීත්වය ඉහල දමනු ඇත. වේල්සය ද මෙතෙක් රග්බි ලෝක ශූරතාව දිනා නැති අතර 1987 ලෝක ශූරතා රග්බි තරගාවලියේ 3 වැනි ස්ථානයත් 2011 තරගාවලියේ 4 වැනි ස්ථානයත් දිනා ගැනීමට සමත්වූ කණ්ඩායමයි. ඔවුන් ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 88.73ක් ලබා සිටී.

2003 වසරේ ලෝක රග්බි ශූරයන්වූ සහ අවස්ථාවන් දෙකකදී අනුශූරයන්වූ එංගලන්තයට එහි හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි. ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 87.27කි. 1995 සහ 2007 යන අවස්ථාවන් දෙකේදීම ලෝක රග්බි කිරුළ හිමිකර ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 84.58ක් ලබා ගනිමින් එම සටහනේ පස් වැනි ස්ථානයට පත්ව සිටී. 1991 සහ 1999 ලෝක රග්බි ශූරතා දිනූ සහ අවස්ථා 2කදී අනුශූරතාව දිනූ ඔස්ට්‍රේලියාවද තරමක් පසු බැස සිටින අතර ඔවුන් හයවැනි ස්ථානයේ පසු වේ. එක් අවස්ථාවක හෝ ලෝක රග්බි ශූරතාවය දිනා ගැනීමට අසමත් වුවද අවස්ථා තුනකම අවසන් තරගයට එක්වූ ප්‍රබල ප්‍රංශ කණ්ඩායමද සික්ස්නේෂන් රල්බි තරගාවලියේ පසුබා සිටින අතර මෙම සටහනේ සිටින්නේ අට වැනි ස්ථානයේය.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ එකම ආසියානු නියෝජනය මෙන්ම මෙවර සත්කාරකත්වය දරන රාජ්‍යද වන ජපානය ලකුණු 75.24ක් ලබා ගනිමින් සටහනේ 11 වැනි ස්ථානයේ පසුවේ.

ලකුණු සටහන

රට ලකුණු

1. නවසීලන්තය 92.54

2.අයර්ලන්තය 89.92

3. වේල්ස් 88.73

4. එංගලන්තය 87.27

5.දකුණු අප්‍රිකාව 84.58

6.ඔස්ට්‍රේලියාව 82.40

7.ස්කොට්ලන්තය 79.17

8.ප්‍රංශය 78.71

9.ෆීජි 77.95

10.ආර්ජන්ටිනාව 77.05

(ඩබ්ලිව්. ආර්. කුමාර)

මාතෘකා