පහෙන් තුනට විත් තුනෙන් එකට එන : ශකීබ් අල් හසන්

 ඡායාරූපය:

පහෙන් තුනට විත් තුනෙන් එකට එන : ශකීබ් අල් හසන්

‘‘පසුගිය වසර දෙක තුළ මම ක්‍රීඩා කළේ අංක පහේ. ඒ කාලය තුළ මට අවශ්‍ය තරම් පන්දුවාර සංඛ්‍යාවකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ඒ අතර අවස්ථා කිහිපයකදී මම අංක 3 පිතිකරු ලෙස පිටියට ඇවිත් අර්ධ ශතක වැඩි ගණනක් ලබා ගත්තා‘‘

පසුගිය සඳුදා කොදෙව්වන්ට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගයේදී කාලයකට අමතක නොවන එක්දින ක්‍රිකට් ඉනිමක් ක්‍රීඩා කළ බංග්ලාදේශ සුපිරි පිතිකරු ෂකීබ් අල් හසන් පැවසීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 322ක් ලබා ගැනීමට හඹා යන ගමනේදී මුෂ්ෆිකර් රහීම් එක් ලකුණකට දැවී යාමත් සමගම පන්දුවාර 19කදී කඩුලු 3ක් දැවී ලකුණු 133ක් ලෙසට ලකුණු පුවරුව දිස් විය. බංග්ලාදේශ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගේ අපේක්ෂා සුන් විය. ඒ වන විට ඔවුන්ගේ සුපිරි ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ද දැවී ගොස් තිබීම ඊට හේතුවයි.

ෂකීබ් තවමත් තණතීරුව මතය. ලිටන් දාස් පිටිය මැදට පැමිණි පසු ශකීබ් සිය බලපරාක්‍රමය පිටිය පුරා මුදා හළේය. කොදෙව්වන්ගේ ඉලක්කය වූයේ ශකීබ්ය. මුලු ලකුණු සංඛ්‍යාව 200 වන විට තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම පැවැතියේ ශකීබ් සහ ලිටන් දාස් අතය. ඉන් පසුව ප්‍රේක්ෂකයන් බලා සිටියේ බංග්ලාදේශය කොතරම් ඉක්මනින් ජය සමරාවිද කියාය. අවසානයේ පන්දුවාර 8.3ක් ඉතිරිව තිබියදී එනම් පන්දුවාර 41.3කදී දුරස් වෙමින් තිබූ සිය ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් සපුරා ගන්නට බංග්ලාදේශය සමත් විය.

ලිටන් දාස් පන්දු 69කදී ලබාගත් ලකුණු 94 විශිෂ්ට විය. හයේ සහ හතරේ පහර එල්ල කරමින් ප්‍රේක්ෂකයන් කූල්මත් කිරීමටද ඒ අතර වාරය තුළ දාස් සමත් විය. එහෙත් පළමු කඩුල්ල බිදී යාමෙන් පසුව පිටියට පැමිණි ෂකීබ් තරගාවලියේ දෙවැනි ශතකයද වාර්තා කරමින් පහසු ජයක් බංග්ලාදේශයට ලැබෙන තුරුම කඩුලුලේ රැඳී සිටීම ඔවුන්ගේ ජයග්‍රහණයේ ප්‍රධානම සාධකයයි.

''අංක 3 පිතිකරු ලෙස පැමිනි විට පිටියේ ස්ථාවර වෙන්න පහසුයි. තරගය ජයගන්න නම් තරගයේ පාලනය අතට ගන්න ඕන. ඒක කරන්න අපි තරගය ඇතුළෙම ඉන්න ඕන. ඒක හොඳටම කරන්න පුලුවන් ආරම්භක පිතිකරුවන්ට සහ අංක 3 පිතිකරුට'' ශකීබ් මෙයට පෙරද එසේ පවසා තිබුණි.

අවසානයේදී මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය ස්ථානයේ ක්‍රීඩා කිරීමේ වගකීම ශකීබ්ට පවරා ඇති අතර අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක් ලෙස ශකීබ් සිය වගකීම මනාව ඉටුකරමින් සිටී.

මෙවර තරගාවලියේදී යා හැකි උපරිම දුර යෑමට බංග්ලාදේශය සතුව සිටින වටිනාම ක්‍රීඩකයා ශකීබ් බව ජාත්‍යන්තර විචාරකයන්ද පවසන්නේ නිකම්ම නොවේ. මේ වන විට තරග 4කදී ක්‍රීඩා කළ ඉනිම් 4දී ලකුණු 384ක් රැස් කරන්නට ශකීබ් මේ වනවිට සමත්ව සිටී. ශතක දෙකකින් සහ අර්ධ ශතක දෙකකින් ඔහුගේ ඉනිම් 4 සමන්විතව ඇත. අවසන් ඉනිම් දෙකම ශතක බවට පෙරලීමට ශකීබ්ට හැකි විය.

තරගාවලියේ දැනට සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ශකීබ් බවට සියලුම ජාත්‍යන්තර විචාරකයෝ විවාදයකින් තොරවම පිළිගනිති. එය සනාථ කරමින් සහභාගීවූ තරග 4දි කඩුලු 5ක්ද දවා ගැනීමට ද ඔහුට හැකිවී තිබේ. මේ වන විට තරගාවලියේ වැඩිමි ලකුණු ලබා ඇති ක්‍රීඩකයා ලෙස සිටින අතර පන්දු යැවිමේ දි ද දක්වන දක්ෂතා මත තරගාවලියේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව සිටින ශකීබ් බංග්ලාදේශය තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ගෙනයාවි යැයි බංග්ලාදේශ ක්‍රිකට් ලෝලීන්ගේ පැතුමයි. නායකයා නොවුණද කණ්ඩායම බැඳ තබාගෙන සිටින ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ ශකීබ්ය. ඒ ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා වලිනි. ඒ දක්ෂතා සමගම මේ වන විටත් ඔවුන් දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කිරීමට සමත් වූහ.

බංග්ලාදේශ ක්‍රිකට් ලෝලින්ගේ පැතුම සාධාරණ වන්නේ ඉතිහාසයේ ලෝක කුසලානයක් සඳහා තරගවදින දක්ෂතම කණ්ඩායම මෙවර එංගලන්තයට පැමිණ සිටින බැවිණි. තමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා රියාද් වැනි බංග්ලාදේශයේ එකම වකවානුවේ බිහිවූ දක්ෂතම පිතිකරු ලැයිස්තුවේ ප්‍රමුඛයා වන්නාසේම මෂ්රෆි මොර්ටාසා සමග බිහිවු විශිෂ්ටම පන්දු යවන්නාද වන්නේ ශකීබ්ය. ඒ අනුව ශකීබ් අල් හසන් යනු වර්තමානයේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශක්තියයි. ඒ ශක්තිය මත මෙවර ලෝක කුසලානයේ බංග්ලාදේශය යන දුර දෙස ලෝක ක්‍රිකට් ප්‍රජාවම අවධානයෙන් සිටී.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

 

මාතෘකා