පන්දු යවන්නන්ගේ මුහුණු කළු කරන

 ඡායාරූපය:

පන්දු යවන්නන්ගේ මුහුණු කළු කරන

 

එළිය විහිදුවන අලුත් බේල්ස්

ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවකු දවාගත් බව දැක්වීමේ පහසුම හා සෘජුම මාර්ගය වනුයේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමය. එහෙත් පන්දුව කඩුල්ලේ දැවටුණද නොදැවී සිටින්නට පිතිකරුවකුට අවස්ථාව හිමිවන්නේ නම් එය සුවිශේෂීය. එහෙත් එවැනි අපූර්ව වාසනාවක් පිතිකරුවකුට හිමිවන්නේ එසේ දැවටෙන පන්දුවකින් කඩුලු මත ඇති බේල්ස් ඉවත් නොවන්නේ නම්ය. ඒ ආකාරයේ සිදුවීම් කීපයක් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල් තරග 13 තුළ වාර්තා වුණේ පන්දුව කඩුල්ලේ දැවටී නොදැවී සිටීමට වාර්තාවූ පිතිකරුවන් ලැයිස්තුව තවදුරටත් පුළුල් කරමිනි. කෙළින්ම පන්දුව කඩුල්ලේ දැවටුණු අවස්ථා 5 කදී කඩුල්ල මත තබා ඇති බේල්ස් කම්පනය වී ඒවා දැල්වුණද කඩුලු මතින් බිම නොවැටෙනු දක්නට ලැබුණේය. එලෙස නොදැවී සිටීමට වාසනාව හිමිවූ අවසන් පිතිකරුවා වූයේ ඔස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ය. ඒ ඉන්දියාව සමඟ පැවැති තරගයේදී ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් තම පාඉන්නේ දැවටුණද බේල්ස් ඉවත් නොවීමෙනි.

‘එය ලෙහෙසියෙන් දකින්න ලැබෙන දෙයක් නොවෙයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර තරගයක එවැනි දේ කොහොමවත්ම අපේක්ෂා කරන්න නොහැකියි’ මෙවර ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව හා තරගයෙන් අනතුරුව ඉන්දීය නායක විරාත් කෝලි පැවසූයේය. ඔහු එසේ පැවසුවේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටුණද ඔස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් නොදැවුණු ක්‍රීඩකයකු ලෙස කඩුල්ලේ රැඳීසිටීමට අවසර ලැබූ හෙයිනි.

‘ඔබ යවන පන්දුවක් කඩුල්ලේ දැවටෙන්න සලස්වලා ක්‍රීඩකයකු දවා ගැනීම අසීරුයි. ඒක වේග පන්දුයවන්නකුට, මඳ වේග පන්දුයවන්නකට කියා වෙනසක් නෑ. ඔබ හොඳ පන්දුවක් යවලත් පන්දුවක් කඩුල්ලේ දැවටිලාත් ප්‍රතිවාදී පිතිකරුවා දවාගැනීමට නොහැකි නම් ඒක දකින්න කිසිම කණ්ඩායමක් කැමති නෑ’ දැවීයාමක් ලෙස සටහන් නොකළ නමුත් පන්දුව කඩුල්ලේ දැවටීම සම්බන්ධයෙන් අදහස් දක්වන විචාරකයෝ පවසති.

‘එවැනි දේ සිද්ධවෙනවානම් ඒක ඇත්තටම විහිළුවක්’ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මයිකල් වෝන් මෙම සංවාදය හා එක්වෙමින් පවසා සිටී.

‘ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැයට සැතපුම් 80ක් විතර වේගයෙන් ආපු පන්දුවක් පා ඉන්නේ දැවටුණා. ඒත් ක්‍රීඩකයා නොදැවීම පුදුමයක්’ වෝන් ප්‍රකාශ කරයි.

‘ඔබ යවන පන්දුවක් කඩුල්ලේ දැවටිලා ප්‍රතිවාදී පිතිකරුවා දැවී යන්නේ නැත්නම් ඒක ගැන සලකා බලන්න වෙනවා. ඒ ගැන වහාම යමක් කරන්න අවශ්‍යයි. ඒක ඇත්තටම පිස්සුවක්’ ඔහු එම සංවාදය තවදුරටත් ඉදිරියට ගෙනයමින් ප්‍රකාශ කර ඇත.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ මේ ආකාරයෙන් පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටුණද ක්‍රීඩකයන් නොදැවුණු අවස්ථා පහක් දැනටමත් වාර්තාවී තිබේ. එය එසේ වීම වඩාත් සැලකිලිමත් විය යුතුය. එසේ නොදැවුණු බව තීරණය කළ අවස්ථා පහ පහත පරිදිය.

1. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඕවල්හි පැවැති තරගයේදී - මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය වූ අතර එංගලන්තයේ පා දඟ පන්දුයවන ක්‍රීඩක අඩිල් රෂීඩ් විසින් පන්දුව පිට ඉන්නේ ස්පර්ශ කිරීමට සමත්වූ නමුත් එහිදී බේල්ස් ඉවත් වීමක් සිදුනොවී පන්දුව හතරේ සීමාව බලා ඇදී ගියේය. පිතිකරුවා වූයේ ක්වින්ටන් ඩි කොක්ය.

2. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර කාඩිෆ්හි පැවැති තරගයේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ කඩුල්ලේ පන්දුව වැදුණු බව පැහැදිලිව දිස්විය. එහිදී බේල්ස් සෙලවුණු නමුත් ඒවා ඉවත් නොවුණු අතර පන්දු යවමින් සිටියේ ට්‍රෙන්ට් බෝල්ට්ය.

3. ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ට්‍රෙන්ට් බිජ්හිදී පැවැති තරගයේදී ක්‍රිස් ගේල් එල්ල කළ පහරක් කඩුල්ල පිටුපස සිට උඩපන්දුවක් වශයෙන් රැකගත් බව තීරණය කළ අතර එම දැවීයාම යළි පරීක්ෂා කිරීමේදී සනාථ වූයේ පන්දුව කෙළින්ම පිට ඉන්නේ වැදුණු නමුත් පිත්තේ නොවැදුණු බවයි. ඒ අනුව බේල්ස් ඉවත් නොවුණු හෙයින් ඔහු නොදැවුණු ක්‍රීඩකයකු ලෙස සංඥා කෙරිණි.

4. එංගලන්තය සහ බංග්ලාදේශය අතර කාඩිෆ්හිදී පැවැති තරගයේදී බංග්ලාදේශයේ මොහොමඩ් සයිෆුදීන්ගේ පිට ඉන්නේ පන්දුව දැවටී බේලය ඉහළට එසැවී යළි කඩුල්ල මතම ස්ථාවර වූ අතර එහිදීද පන්දුයවන ක්‍රීඩකයා අවාසනාවන්ත විය.

5. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගය ඕවල් පිිටියේදී පැවැති අතර එහිදී ඩේවිඩ් වෝනරගේ සපත්තුවේ වැදී පා ඉන්න මත පතිත වූ බුම්රාගේ පන්දුව හේතුවෙන් බේල්ස් බිම නොවැටිණි.

 

එවැනි සිදුවීම් ලෝක කුසලානයේ වාර්තා වද්දී පිතිකරුවන්ගේ පාර්ශ්වයෙන් එය හොඳ ආරංචි ලෙසින් සැලකිය හැකි නමුත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් බහුතරයක් ඒ ගැන දක්වන්නේ සතුටුදායක අදහසක් නොවේ.

අදාළ සිදුවීම් ගැන ට්විටර් පණිවුඩයක් තබා ඇති හිටපු පාකිස්තාන වේග පන්දුයවන ක්‍රීඩක ෂොහීබ් අක්තාර්, ‘පන්දුවක් කඩුල්ලේ දැවටිලා බේල්ස් ඉවත් වුණේ නෑ කියලා පිතිකරුවාට නොදැවී ඉන්න මෙවර ලෝක කුසලානයේ ලැබුණු පස්වැනි අවස්ථාව මේක. මේ මොකද වෙන්නේ. අනෙක සමස්ත ලෝකයම බලාගෙන එන්න මේ වගේ ලෝක කුසලානයක? මගේ ජීවිත කාලෙම මේ වගේ ආසන්න සිදුවීම් පහක් දැකලා නෑ. තරගාවලියේ දින දහයක කාලයක් තුළයි මේවාගේ සංසිද්ධි මාලාවක් වාර්තා වෙන්නෙ’ ඔහු ට්විටර් සටහන් තබා ඇත.

එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායකයකු වන නසාර් හුසේන්ද මෙලෙසම ට්විටර් සටහනක් තබා තිබේ. ඔහු පවසන්නේ මෙය කිසිසේත් සිදුවිය නොහැක්කක් බවයි. ‘බේල්ස් සම්බන්ධයෙන් මේ වගේ දෙයක් වෙන්න බෑ. මේ කාලේ පන්දුයවන්නෝ ඇති තරම් වේගයෙන් පන්දුයවනවා. මේ තත්ත්වය වෙනස් වෙන්න අවශ්‍යයි’ ඔහු පවසා සිටී.

හිටපු එංගලන්ත ටෙස්ට් නායකයකු වන මයිකල් වෝන් පවසන්නේ, ‘මේ පිතිහරඹයට සුදුසුම කාලය. ඒක පන්දුයවන්න සුදුසු නෑ. මේ කඩුලු සහ බේල්ස් සම්බන්ධතාව වහා වෙනස් කළ යුතුයි’ යැයි ඔහු පවසයි.

ක්‍රිකට් නීතිවලට අනුව පිතිකරුවකු කෙළින්ම පන්දුව කඩුල්ලේ දැවටීමෙන් දැවී ගොස් ඇති බව තීරණය කිරීමට නම් කඩුල්ල මත රඳවා ඇති බේලයක් ඉන් ඉවත් විය යුතුය. එසේ නොමැතිනම් කඩුල්ලක් ගැලවී යායුතුය. 29.1.2 නීතියේ තවදුරටත් දක්වා ඇති පරිදි බේලයක යම් චලනයක් තාවකාලිකව සිදුකිරීම එය සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් ලෙසින් සලකන්නේ නැත.

අර්බුද නිමවා ඇති මෙම බේල්ස් වර්ගය අයි.සී.සී. ය විසින් භාවිතයට ගන්නේ 2012 වසරේ සිටය. ඒවා පසුගිය 2015 ලෝක කුසලානයේදී භාවිත කරනු ලැබුණේය. ඉන්දියානු ප්‍රිමියර් ලීග්, ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් වැනි තරගාවලියන්හිදී භාවිත කරනු ලබන්නේ මෙම බේල්ස් වර්ගයමය.

ඒවා බරින් වැඩි වන අතර එල්.ඊ.ඩී. බල්බ් එය තුළ රඳවා තිබීම ඊට හේතුව වන්නේද? එසේත් නැතහොත් කඩුල්ල මත බේල්ස් තැබීමට කපා ඇති කට්ට ගැඹුරින් අධිකද යන්නද බේල්ස් කතිකාවතට අලුතින්ම එකතුවී ඇති සෙසු කතිකා වේ.

‘අපි කඩුලු පරීක්ෂා කළා. එතැන ගැටලුවක් නෑ. අනේ මන්දා මෙහෙම වෙන්න මොකක්ද හේතුව කියලා?’ විරාත් කෝලි අදහස් දක්වා සිටින්නේ එලෙසින්ය.

මේ බේල්ස් ගැටලුව ගැන අයි.සී.සී. ය පවසන්නේ සාමාන්‍ය ඒවාට වඩා ඒවා බරින් වැඩි බවය. එහෙත් සුළං සහිත තත්ත්වයකදී යොදාගන්නා බර බේල්ස් වලට වඩා සැහැල්ලු බේල්ස් මේ වෙනුවෙන් යොදාගන්නා බව ඔවුහු පවසති.

බේල්ස් ප්‍රශ්නය ගැන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ඒරන් පින්ච් පවසන්නේ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී හෝ අවසන් මහා තරගයේදී එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් කියාය. ‘මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ප්‍රේක්ෂකයෝ ඒක දකින්න අකමැති වේවි’ ඔහු පවසා ඇත. කවුරු කෙසේ කීවද මෙවර ලෝක කුසලානය අවසන් වනතුරුත් මෙකී බේල්ස් අර්බුදය විසඳීමට අයි.සී.සී. ය නම් එකඟ නැතිබව අවසන් වශයෙන් පැවසිය යුතුය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා