එංගලන්ත වර්ෂාවේ වැඩිම බලපෑම ශ්‍රී ලංකාවට

 ඡායාරූපය:

එංගලන්ත වර්ෂාවේ වැඩිම බලපෑම ශ්‍රී ලංකාවට

පසුගිය දිනවල එංගලන්තයට ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් ලෝක කුසලානයේ වැඩියෙන්ම බලපෑමට ලක්වූ කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ. ඔවුන් මෙතෙක් සහභාගිවූ තරග හතරෙන් තුනකට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර පළමු තරගය වන නවසීලන්තය හා තරගය පමණක් කඩුලු 10කින් පරාජය ලැබීය.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති තරගයේදී ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ඊට පසුව පැවැති පාකිස්තානය හා තරගය එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමූ අතර බංග්ලාදේශය සමඟ පැවැති සිව්වැනි තරගයද ජය පැරදුමෙන් තොරව අවසන් කෙරිණි.

මේ දිනවල එංගලන්තයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම මඳින් මඳ සිහිල් වෙමින් පවතී. ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් දැඩි අවධානයෙන් යුතුව නරඹනු ලබන මෙම තරගාවලිය මේ ආකාරයෙන් වර්ෂාවට ගිලීයාම ගැටලුවක් බව ජාත්‍යන්තර කණ්ඩායම් ප්‍රකාශ කරයි.

පසුගිය අඟහරුවාදා පැවැති තරගය අතහැරීමත් සමඟ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියාසිටියේ එය අවසනාවන්ත තත්ත්වයක් බවයි. බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෂ්රෆි මොර්ටාෂා අතහැරුණු තරගය ගැන අදහස් දක්වමින් කියාසිටියේ එය දැඩි කළකිරීමක් ඇතිකළ බවයි. දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ද මෙම කාලගුණික හැසිරීම හේතුවෙන් දැඩි පීඩාවට පත්වූ නායකයෙකු ලෙසින් සැලකේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම වෙනුවෙන් තීරණාත්මක තරග කීපයකට පෙනී සිටින ඔහු මේ වනවිට සිය අපේක්ෂා අහිමි කරගැනීමේ පසුබිමක පසුවන්නේ තරග හතරකට සහභාගිවී එක් ප්‍රසාද ලකුණක් පමණක් ලබාගනිමිනි. එම ප්‍රසාද ලකුණ හිමිවූයේ වර්ෂාව හේතුවෙන් අතහැර දමනු ලැබූ තරගයකටය. මෙවැනි දැවැන්ත තරගාවලි වෙනුවෙන් අතිරේක දිනයක් ලබාදීමට තරග සංවිධායකයන් කටයුතු කළ යුතු බවත් වර්ෂාව නොපවතින කාලයක තරග සංවිධානය කිරීම සිදුකළ යුතු බවත් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පවසති.

මාතෘකා