ඔස්ට්‍රේලියා - පාකිස්තාන තරගය අද

 ඡායාරූපය:

ඔස්ට්‍රේලියා - පාකිස්තාන තරගය අද

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට විසඳුම තීරණය කරන්න සිදු වේදැයි සැකයක්

කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම පන්දු රැකීමට වැඩි ඉඩක්

ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ 17 වැනි තරගය අද (12) ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ටොටන්හි පැවැත්වෙයි. ඔස්ට්‍රේලියානු වේග පන්දුයවන්නන් විසින් අද තරගයේ තම ග්‍රහණය දැඩි කිරීමේ අපේක්ෂාවෙන් පසුවන්නේ තරගය කෙසේ හෝ ජයගැනීමේ අදිටනිනි. ඉන්දියාව සමඟ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ප්‍රතිවාදීන්ට වැඩි ලකුණු ලබාදීම සම්බන්ධයෙන් තමන්ටම චෝදනා කරගත් ඔස්ට්‍රේලියානු පන්දුයැවීමේ බලඇණියේ අපේක්ෂාවවී ඇත්තේ ටෝටන් තණතීරුවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමය.

මේ සඳහා කාලගුණික තත්ත්වයේ වාසියද උකහා ගැනීමට අපේක්ෂා කරන බව ඔවුහු පවසති. ‘අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔවුන්ට එරෙහිව තරග 5-0ක ජයක් හිමිකරගත්තා. ඒ පරාජය යළිත් සිහිපත් කරදෙන්න අද තරගය යොදාගන්නවා’ ඔස්ට්‍රේලියානු නායක ඒරන් පින්ච් පවසා ඇත.

මේ අතර සත්කාරක එංගලන්තය සමඟ පැවැති තරගයේදී ලකුණු 14ක ජයක් හිමිකරගත් පාකිස්තාන කණ්ඩායම විශ්වාස කළ නොහැකි කණ්ඩායමක් ලෙස විචාරකයෝ හඳුන්වති. ඒ අනුව අද තරගය වෙනුවෙන් ඔවුහු ඔස්ට්‍රේලියාවට එරෙහිව යහපත් මානසික තත්ත්වයකින් යුතුව මුහුණ දෙති. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 10කින් පරාජය ලැබීමෙන් අනතුරුව යළි එංගලන්තය පරාජය කිරීමට සමත්වීමත් ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය වර්ෂාව නිසා අතහැර දැමීමත් හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම සිටිනුයේ ජයග්‍රහණ පිපාසයකිනි. ‘පරාජය කළ නොහැකි කිසිම කණ්ඩායමක් නැහැ. ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න හැකියි’ පාකිස්තාන නායක සර්ෆාස් අහමඩ් ප්‍රකාශ කරන්නේ එහෙයිනි.

අද පැවැත්වෙන තරගයේදී ඔස්ට්‍රේලියාව පාර්ශ්වයෙන් ග්ලේන් මැක්ස්වෙල් පිළිබඳවත් පාකිස්තානය වෙනුවෙන් බාබර් අෂාම් සම්බන්ධයෙනුත් වැඩි අපේක්ෂා තබා තිබේ. තරගයේ සුවිශේෂී වෙනසක් සිදුකිරීමේ හැකියාව ඔවුන් සතුව පවතින බව විචාරකයන්ගේ මතයයි. ‘මැක්සේවල් දෙරට අතර අවසන් වරට පැවැති තරගවලදී ලකුණු 55ක සාමාන්‍යයක් පවත්වා ගත්තා.

අවසන් තරග තුනේදීම 71, 98 හා 70ක් රැස්කළා. ඒ වගේම තමයි අෂාම් අංක තුන පිතිකරුවා වශයෙන් අඛණ්ඩව දක්ෂතා දක්වමින් ඉන්නවා. ඉතා හොඳ තාක්ෂණයක් පවත්වාගෙන යමින් ඔහු ක්‍රීඩා කරනවා. ඔස්ට්‍රේලියානු වේග පන්දු ආක්‍රමණයට හොඳම පිළිතුර අෂාම්ගේ පිත්තෙන් අපේක්ෂා කළ හැකියි’ විචාරකයෝ පෙන්වා දෙති.

වියළි නමුත් වළාකුළු සහිත ස්වභාවයක් අද දිනයේ අපේක්ෂා කරන නමුත් වර්ෂාව ඇදහැලීමේ අවදානම සියයට හතළිහක් බව එංගලන්ත කාලගුණ විද්‍යා අංශ පවසයි. ඒ අනුව මෙම තරගය ඇතැම්විට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව විසඳීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගයේ මුල් භාගයේ වේග පන්දුයවන්නන්ට වැඩි වාසිගෙනදීමට නියමිත හෙයින් කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරනු ඇතැයි සැලකිය හැකිය.

මාතෘකා