ශ්‍රී ලංකාවේ අද තරගයටත් වර්ෂාව හරස්වන ලකුණු

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ අද තරගයටත් වර්ෂාව හරස්වන ලකුණු

තරග තුනකට සහභාගිවී ඉන් එක් තරගය බැගින් ජයගෙන සිටින ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තම සිව්වැනි තරගය වෙනුවෙන් අද (11) එංගලන්තයේ බ්‍රිස්ටල්හි කවුන්ටි ක්‍රීඩාංගණයේදී එකිනෙකා මුණ ගැසේ. ආසියාවේ ක්‍රිකට් බලවතකු ලෙස පෙනීසිටීම වෙනුවෙන් මෙම තරගය යොදාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම දැනටමත් තීරණය කර ඇතුවා නිසැකය. ඔවුන් ලෝක කුසලානයේ මෙතක් සහභාගිවූ තරග තුනෙන් දකුණු අප්‍රිකාව හා තරගය පමණක් ජය ගැනීමට සමත් වූ අතර නවසීලන්තය හා එංගලන්තය අතර තරග සාපේක්ෂව ගෞරවාන්විතව පරාජය ලැබීිය. එහෙත් මෙම තරගවලදී ඔවුන්ගේ පිතිකරුවන් වැඩි දක්ෂතා දැක්වීමද නොසලකා හැරිය නොහැකිය. ඒ අතරින් ශකීබ් අල් හසන් කැපී පෙනෙයි. සමස්තයක් වශයෙන් ගත්කල පන්දුවට පහරදීමේදී මෙන්ම පන්දු යැවීමේදී ද බංග්ලාදේශ කණ්ඩායම එකසේ දක්ෂතා දක්වා තිබීමද සුවිශේෂීය.

ශ්‍රී ලංකා කණ්ඩායමද අද තරගයට සහභාගිවන්නේ ආසියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාකරන රාජ්‍යයක් වශයෙන් තමන්ගේ ස්ථානය ස්ථාවර කරගැනීමේ අපේක්ෂාවෙනි. ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සහභාගිවූ තරග තුනෙන් ජයගත්තේ ඇෆ්ගනිස්ථානය හා තරගය පමණි. පාකිස්තානය සමඟ පැවති තරගය එකදු පන්දුවක්වත් නොයැවූයේ වර්ෂාවේ බලපෑම් හේතුවෙන්ය. මේ වනවිට කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනෙකුම සෞඛ්‍ය ගැටලුවලට ලක්ව තිබීම පාර්ශ්වයෙන් නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සිටිනුයේ තරමක් නොසතුටෙනි. නිල නොලත් ආරංචි මාර්ගවලට අනුව කියැවුණේ ක්‍රීඩකයන් කීපදෙනෙකුම පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටින බවය.

මේ අතර පසුගිය ඉරිදා පැවැති පුහුණු සැසියක් අතරතුර වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්විය. එහෙයින් අද පැවැත්වෙන තරගයට ඔහු ක්‍රීඩා නොකරන බව කණ්ඩායම් කළමනාකාරිත්වය පෙරේදා නිවේදනය කළේය. අද තරගයේදී වේග පන්දුයැවීමේ වැඩි බරක් ලසිත් මාලිංග, සුරංග ලක්මාල් සහ ඉසුරු උදානගේ කරමත තබා සිත සැහැල්ලු කරගැනීමට ශ්‍රී ලංකා නායකයාට සිදුව තිබේ. එහෙයින් අද තරගයේදී බොහෝ දුරට ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවනු ඇතැයි විශ්වාස කළ හැකි නමුත් මිලින්ද සිරිවර්ධන සම්බන්ධයෙන්ද සලකා බැලීමට ඉඩ ඇත. මේ අතර ශ්‍රී ලංකා සංචිතය සමඟ කසුන් රාජිත එක්වන බව පැවසුණද ඔහු අද පැවැත්වෙන තරගයට එක්වීම ඊයේ වනතුරුත් අවිනිශ්චිතව තිබිණි.

අද තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පාර්ශ්වයෙන් ශකීබ් අල් හසන් කෙරේ වැඩි වශයෙන් අවධානය යොමුකළයුතු අතර ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කුසල් මෙන්ඩිස් සිය පිතිහරඹය මුවහත් කරගැනීමට මේ තරගය යොදාගනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඕනෑම තරගයකදී ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙන්නේ නම් සාර්ථක ආරම්භයක් සමඟ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම අසීරු වන්නේ නැත. කෙසේ නමුත් අද තරගයට ද වර්ෂාවේ බාධාවන් එල්ල වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එසේ වර්ෂාවෙන් බාධා නොවන්නේ නම් බ්‍රිස්ටල්හි පැවැත්වෙන තරගය අතිශය තියුණු මුහුණුවරක් ගනු ඇත.

 

මාතෘකා