ශ්‍රී ලංකාවේ එක් පිතිකරුවකු අඛණ්ඩව පන්දු සියයකටවත් මුහුණදිය යුතුයි : ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස්

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ එක් පිතිකරුවකු අඛණ්ඩව පන්දු සියයකටවත් මුහුණදිය යුතුයි : ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ එතරම් හොඳ පිළිගැනීමක් නොවේ. ලෝක කුසලාන තරගාවලියට ප්‍රථම ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වා තිබුණ් ලකුණු 30ට අඩු සාමාන්‍යයක් පවත්වාගෙන යන පිතිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙසිනි. පසුගිය 2018 වසරෙන් අනතුරුව පැවැති එක්දින තරග සියල්ල සමෝධානික කළ විට ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 24.61කි. සෑම පන්දු 28.75 කට වරක් ශ්‍රී ලංකා පිලේ කඩුල්ලක් දැවෙන බව ඔවුහු පෙන්වා දෙති. මෙවර ලෝක කුසලානයට ක්‍රීඩාකරන රටවල් අතර ශතක පහකට වඩා අඩුවෙන් රැස්කළ ප්‍රධානම කණ්ඩායම වනුයේද ශ්‍රී ලංකාවය. මෙවැනි පසුබිමක් සහිත පරිසරය තවත් තීව්‍ර කරමින් ලෝක කුසලාන පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ පරාජය ලැබීය. දෙවැනි තරගය ලෙස ඇෆ්ගනිස්ථානය සමඟ වන තරගය පැවැත්වීමට පෙර පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස් සමඟ විදෙස් මාධ්‍ය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් අවශ්‍ය ප්‍රධානම දේ මොකක්ද?

පන්දු 100ක් ගහන්න පුළුවන් පිතිකරුවෙක්. එය තමයි අවශ්‍ය. දැන් දිමුත් ලකුණු 100ක් ගැහුවොත් ඔහු ඒ සඳහා පන්දු 120කට මුහුණදෙන එක අනිවාර්යයි. ඔහුගේ පළමු ලකුණු 50 හෙමින් රැස්කරාවි. නමුත් ඔහු ශතකය පන්දු 120කින් සම්පූර්ණ කරයි කියලා මම හිතනවා. ළහිරු තිරිමාන්න ඊට සපුරා වෙනස් ආකාරයකට තමයි ක්‍රීඩා කරන්නෙ. ඊට පස්සේ අපිට ඉන්නවා කුසල් පෙරේරා. ඔහුගේ ප්‍රහාරක වේගය අනුව ශතකයක් ගහන්න පන්දු 70ක් 80ක් වගේ වැය කරාවි. ඇත්තම කියනවානම් තරගයකදී ප්‍රහාරක වේගය අපිට ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය තියෙන්නේ අපේ ක්‍රීඩකයෝ දිගු ඉනිම් ක්‍රීඩා නොකිරීමයි. අපි අන්තිමට එක් පිතිකරුවකු අඛණ්ඩව පන්දු 100කට වඩා දිගු ඉනිමක් ක්‍රීඩා කරපු අන්තිම අවස්ථාව හුඟාක් ඈතට දිවෙනවා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු හැත්තෑ ගණනක් ගහලා තිබෙන්නේ පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේදියි. කුසල් සහ තිසර ශතක දෙකක් රැස්කර තිබෙනවා. ඒකයි ඇත්ත. එක්දින තරගයකදී අපි ලොකු ලකුණු ගණනක් ගහන්නනම් මුල් පිතිකරුවන් හතර පස්දෙනා අතරින් පන්දු 100කට වඩා ක්‍රීඩා කළ ඉනිම් වාර්තා වෙන්න ඕනෑ. කණ්ඩායමේ පසු භාගයේ තිසර පෙරේරා, ඉසුරු උදාන වගේ ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීමට සූදානමින් ඉන්නවා. ඔවුන්ට අන්තිම පන්දුවාර කීපයේ හොඳින් ලකුණු අතරට එන්න හැකියි. මුල් පෙළේ පිතිකරුවන් පදනම සකස් කර දෙනවා නම් ඔවුන්ට ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ප්‍රහාරයක් ලබාදීලා යම් හානියක් කළ හැකියි. නමුත් අපි ඔවුන්ට පදනමක් හදලා දෙන්නේ ඕනෑ. මේ සත්‍ය අපිට කියලා දෙන්න පුළුවන්. නමුත් ක්‍රීඩකයෝ පිටිය මැදට ගිහින් ඒ දේට පිළිතුරු සැකසිය යුතුයි.

කණ්ඩායම ලකුණු 136කට දැවී ගිය එක කොහොමද ඔබ පැහැදිලි කරන්න යන්නෙ?

මට හිතෙන්නේ අපි නවසීලන්තයට එරෙහිව නිවැරදි ආකාරයට පටන් ගත්තා. පන්දුවාර අටක් යනතුරු අපි හිටියේ ඉදිරියෙන්. හැබැයි ට්‍රෙන්ට් බොල්ට් තණතීරුවෙන් උපරිමය ලබාගත්තා. තිරිමාන්න ඉක්මනින් දැවී ගියා. නමුත් ඊට පස්සේ අපි හොඳින් ක්‍රීඩා කළා. මුලින් ගත්තු වාසිය අපි පැත්තකට දැම්මා. ඇත්තටම මම හිතුවේ පන්දුවාර 30ක් වද්දී කඩුලු තුනක් පමණ දැවී ගිහින් තියේවි කියලා. ඊට පස්සේ ඉතිරි පන්දුවාර 20 අපිට ලොකු ලකුණු ගණනක් ගහන්න හැකිබව මම හිතුවා. කාඩිෆ් තණතීරුව නරක තණතීරුවක් නොවෙයි. නමුත් අපි නියම පදනමක් දාගත්තේ නෑ. ඒ නිසා අපි අසීරුතාවයට පත්වුණා.

කුසල් පෙරේරා වගේ පහරවල් නිර්මාණය කරන ක්‍රීඩකයෙක් ගැන ඔබ මොකද කියන්නෙ? ඔහු අන්තිමට තමුන්ගේ කඩුල්ල විසිකරලා දැම්මා?

ඔහුගේ ක්‍රීඩාවේ තිබෙන ශක්තිමත්ම කොටස තමයි එ්ක. ඉඩක් නැති තැන්වල ඔහු ඉඩක් හදාගන්නවා. එහෙම නැත්නම් කොහොමද ඔහු තරගයකදි හතරේ පහරවල් එල්ල කරන්නෙ. කෙළින් එන පන්දුවකට ඔහු ඒ වගේ පහර එල්ල කරන එක ලොකු වැඩක්. ඔහු යමක් කරනවා. නමුත් අපිට හැමදේම එකරැයකින් වෙනස් කරන්න බෑ. අපේ සංචිතයේ ඉන්න ක්‍රීඩකයන්ට එතරම් අත්දැකීම් නෑ. ඒ අතර ඔහුත් ඉන්නවා. අපි අනාගතය ගැන අපේක්ෂා තැබිය යුතුයි.

ඔබ සතු වඩාත් පරිණත ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්. ඔහු එදා තරගයේ ක්‍රීඩා කරන්න ආවේ අංක හයට?

අපි අපේ පිතිකරු ලැයිස්තුව සම්බන්ධයෙන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඇන්ජලෝ කියන්නේ අන්තිම පන්දුවාර 30දීත් ශතකයක් ගහන්න හැකි ක්‍රීඩකයෙක්. ඒක ධනංජයට ඒ වෙලාවට ඇවිත් කරන්න අමාරුයි. නමුත් ධනංජය කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. සැලසුම් කරපු ආකාරයට දේවල් සිද්ධ නොවෙද්දී ඔවුන්ට සිද්ධ වෙනවා ඉදිරියෙන් ඇවිත් පන්දුවට පහර දෙන්න. පිතිහරඹය පූර්වයේ සැලසුම් කළ ආකාරයෙන් සිද්ධ නොවෙද්දී ඇතිවෙන ප්‍රශ්නයක් මේක. නවසීලන්තය සමඟ පැවැති තරගයේදී අපිට හොඳින් පන්දුවට පහරදෙන්න නොහැකිවුණා. අපි හොඳ සබඳතා දෙකක්වත් පවත්වලා ඉන් එකක් ඉනිම අවසන් වනතුරු තබාගැනීම කළ යුතුයි. නමුත් එය වුණේ නෑ. ඉතා විශිෂ්ට ආකාරයෙන් ප්‍රතිවාදීන් පන්දුයැවවා කියලා මම හිතන්නෙ නෑ. ඒක පිතිකරුවන් සිදුකළ වැරදි තේරීම් නිසා සිදුවූ පසුබැසීමක්.

මේ සුපුරුදු අපහසුතාවයෙන් මිදෙන්න ශ්‍රී ලංකාවට අපහසු ඇයි?

විශ්වාසය. ඒක තමයි තිබෙන ලොකුම ප්‍රශ්නය. අපි ලෝක කුසලාන තරගාවලියට එද්දී දකුණු අප්‍රිකාවේ, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ සංචාරය කරලා ආවා විතරයි. අපි එහෙදි හොඳ අත්දැකීම් ලබාගත්තා. වේගවත්, ඉපිලෙන තණතීරුවල ක්‍රීඩා කරන ආකාරය ගැන අපි හොඳ නිරාවරණයවීමක් සිදුවුණා. ලෝකයේ ඉන්න හොඳම වේග පන්දු ප්‍රහාරයන්ට අපි මුහුණ දුන්නා. අපි රබාඩා, එන්ගිඩි, ස්ටේන්ගේ පන්දුවලට ක්‍රීඩා කළා. ඔස්ට්‍රේලියාවේදී ස්ටාක්, කමින්ස්, හැසල්වුඩ් වගේ අයට මුහුණ දුන්නා. ඔවුන් හරිම අමාරු කාරයෝ. අපිට රටින් පිට බොහොම අසීරු අවස්ථාවන් අභිමුව පෙනී සිටියා. කොහොම වුණත් අපි එක්දින තරග ආකාරයේ අත්දැකීම් ලබාගත්තේ අඩුවෙන්. අපි මෙතැනට ඇවිල්ලා කොළ පැහැති තණතීරුවක් දැක්කාම ‘මගේ දෙවියනේ, මට ඕනෑ මේ වගේ එකක් නෙවෙයි කියලා' හිතන එක වැරදියි.

පිතිකරණ පුහුණුකරුවා වශයෙන් ලෝක කුසලානය මැද විශ්වාසය, ධෛර්යය ගැන කතාකළ හැකිද?

අපේ සමහර ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරලා නැහැ. පළමු පෙළ ක්‍රිකට් අත්දැකීම් වලින් පස්සේ ඔවුන් ජාත්‍යන්තර අත්දැකීම් ලබාගන්නේ ලෝක කුසලාන මට්ටමේදියි. කණ්ඩායම තුළ එකමුතුකම සහ විශ්වාසය තබාගැනීමේදී දිමුත් නායකයා වශයෙන් තෝරාගන්න කණ්ඩායම තුළ ශක්තිමත් අපේක්ෂකයකු වුණා. ඔහු දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදී ඒ බව හොඳින් ප්‍රකට කළ නිසා ඔහුව එක්දින නායකයා වශයෙනුත් නම් කළා. පුහුණුවේදී ඔබට සිදුකළ හැකි දේවලුත් තිබෙනවා. පුහුණුව ගැන කතාකරද්දී ක්‍රීඩකයෝ පුහුණුවේදී හිතනවා තමුන් හොඳ තැනක ඉන්නවා කියලා. පුහුණුකරුවෝ වශයෙන් අපිට සිද්ධ වෙනවා සැමවිටම ඔවුන්ව පරික්ෂා කරන්න. මේවගේ තරගවලින් පස්සේ පුහුණුකරුවන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ ධෛර්යය යළි වඩවන්න. දැල් තුළ පුහුණු වෙන් පස්සේ ඔවුන්ට දැන් තමන්ට හොඳක් දැනෙනවා කියලා හිතන තත්ත්වය ඇතිකළ යුතුයි. නැතිව ඔවුන් ප්‍රශ්නයක, එහෙම නැත්නම් යම් අසීරුවක ඉන්නවා කියලා අවසානයේ සිතන්න ඉඩදෙන්න හොඳ නෑ.

ඉසුරු උදානගේ තාක්ෂණය සම්බන්ධයෙන් ඔබ කටයුතු කළා. ලෝක කුසලානය කියන්නේ තරුණ සංචිතයක තාක්ෂණය වෙනස් කරන්න තරම් සුදුසු වේදිකාවක්ද?

ක්‍රීඩකයන්ගේ තාක්ෂණය සම්බන්ධයෙන් ලොකු වෙනස්කම් කරන්න මට උවමනා නෑ. ඉසුරු එක්ක ප්‍රහාරක සැසි කීපයක් අපි අත්හදා බැලුවා. සමහර පැතිවලින් ඔහු ප්‍රහාරය එල්ල කරනවා. නමුත් සමහර පැතිවලින් ගෙන බැලුවහම එය ඔහුගෙන් සිද්ධ වෙන්නේ නෑ. අපි ඔහුගේ මැණික් කටු යොදාගෙන මේ ප්‍රහාරයට ශක්තිය එක්කරන්න කතාකළා. අපි ඒ වෙනුවෙන් පුහුණු වුණා. එහෙම නැතිව වෙනත් දෙයක් එතන සිද්ධ කළේ නෑ.

ඔබේ රැකියාවේ කාලය මාස පහක්. ලෝක කුසලානයට සූදානම් වීමට එම කාලය ප්‍රමාණවත් වුණාද?

ඒක හරිම සිත් ඇදගන්නා සුළුයි. මොකද මාස පහක් කියද්දී මට මතක් වන්නේ නවසීලන්තයේදී අපි ඒ ගැන සාකච්ඡා කළ ආකාරය. මේ සංචිතයෙන් උපරිම දක්ෂතා ලබාගැනීම තමයි අපි එතැනදී කතාකළේ. අපිට තියෙන ශක්‍යතා අනුව උපරිම ප්‍රතිඵල ලබාගැනීම ගැනයි එතැනදි සාකච්ඡා කළේ. අපිට එංගලන්තය වගේ ක්‍රිකට් ගහන්න ලෑස්ති වෙන්න කියලා ඔවුන්ට කියන්න බෑ. මොකද අපිට එංගලන්ත සංචිතය හරි ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව හරි නැති නිසා. දිමුත් අපිත් එක්ක හුඟාක් වැඩකළා. ඔහු ටෙස්ට් ආරම්භක පිතිකරුවාගේ සිට එක්දින ආරම්භක පිතිකරුවකු වෙන්න හුඟාක් පුහුණු වුණා. නූතන එක්දින ආරම්භක පිතිකරුවකුයි දිමුත්ගෙයි අතර වෙනසක් තිබෙනවා. එංගලන්තයේ ක්‍රීඩා කරද්දී ටෙස්ට් ආරම්භක පිතිකරුවකුට පන්දුව හැසිරෙන ආකාරය වාසියක් වෙන්න පුලුවන්. අපි අපිට තියෙන වාසි එකතු කරගනිමින් තිසර, ඉසුරු වැනි ක්‍රීඩකයන්ගෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි ආකාරය ගැන සලකා බැලුවා.

ඔබ ඊළඟ සංචාරයේදී පුහුණුකරුද නැද්ද නොදැන පුහුණු කටයුතු කරන්න කොයිතරම් අසීරුද?

ඒක සමහර වෙලාවට අසීරුයි. නමුත් එතැන යම් අභියෝගයකුත් තිබෙනවා. එක දෙයක් කියන්න තිබෙනවා. දෙසැම්බරයේ සිට මම පුහුණු කටයුතු පටන් ගත්දා ඉඳලා හුඟාක් ක්‍රීඩකයන් දැක්කා. එතැනදි මම ඉතා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ව දුටුවා. ඔවුන්ව ඉදිරියට ගන්න බොහෝදේ කරන්න අවශ්‍යයි. ඉදිරි අවුරුදු එකහමාර, දෙක ඔවුන් සමඟ ගතකළාම ජාත්‍යන්තර තලයට ඔවුන් රැගෙන එන්න හැකියි. ඔවුන්ට අවස්ථාවන් ලබාදීමයි අවශ්‍ය. වෙනත් රටවලට වඩා පළමු පෙළ ක්‍රීඩකයන්ගේ සහ ජාත්‍යන්තර ක්‍රීඩකයන් අතර පරතරය විශාලයි කියවෙනවා. නමුත් මම ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් දැකලා තියෙන්නේ අඩුවෙන්. වෙනත් අය තමයි මේ පරතරය ගැන කියන්නෙ. ඒ නිසා අපි 'ඒ ' කණ්ඩායමක්, ඉහළ දක්ෂතා කළමනාකරණය කිරීම සහ ඊට පසු ජාතික කණ්ඩායමට එන්න පාරක් හදලා තියෙනවා. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව ඊළඟ මට්ටමට අවශ්‍ය ක්‍රීඩකයන් ගෙනෙන්නේ නැත්නම් අපි ඒකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න අවශ්‍යයි.

ක්‍රීඩකයන්ට ඔබ ඔබේ අදහස් දෙන්න්නේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හරහායි. භාෂා බාධකය ප්‍රශ්නයක්ද?

ඒක සිද්ධ වෙනවා. මම ඒ අතින් වාසනාවන්තයි. අපේ ක්‍රීඩකයන් වැඩිදෙනෙකුට හොඳින් ඉංග්‍රීසි පුළුවන්. මම මගේ සේවක කණ්ඩායමේ ඉන්න අනිත් සාමාජිකයන්ගෙනුත් උපකාර ගන්නවා.

මාතෘකා