අයි.එස්. ඇතුළු අන්තගාමීත්වය පැරදූ පාසල තුළ රට හෙවත් ඉසිපතනයේ රගර්

 ඡායාරූපය:

අයි.එස්. ඇතුළු අන්තගාමීත්වය පැරදූ පාසල තුළ රට හෙවත් ඉසිපතනයේ රගර්

භූමි සැලස්මේ වාස්තු විද්‍යාත්මක ඉදිකිරීමට අනුව Greenlands College පිහිටා තිබුණේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික කොට්ටාස අංක 5 හැව්ලොක්ටවුමේය. ඊට ආසන්නයේ ඉහළට නැගී සිටි ඉසිපතනාරාමය නිසා 1952 දී Greenlands College ඉසිපතන නමට විතැන් විය.

මගේ ප්‍රබන්ධ කිරීමට (discourse) අනුව ඉසිපතනය ඇතුලේ ශ්‍රී ලංකාව පිහිටා තිබේ.( ප්‍රබන්ධය වනාහී යථාර්තයයි, යථාර්තය වනාහී ප්‍රබන්ධයයි)

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යනා දී ජනවර්ග සහ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් යනා දී ආගමික බහු සංස්කෘතික ගුරු සිසු ප්‍රජාවකි.

සිසු ප්‍රජාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තුනෙන්ම අධ්‍යාපනය ලබති. බහුතර ගුරු සිසු ප්‍රජාව සිංහල බෞද්ධ වුවත් එකිනෙකාට ගෞරවණීය ලෙස ඇති මිත්‍රශීලී සහයෝගීතාවය ශ්‍රී ලංකාවට ආදර්ශමත්ය.(රාජකීය, තර්ස්ටන්, ඩී.එස්. යනාදී පාසල්වලටද මෙය ආදේශ කරගත හැකි අදාළත්වයක් ඇත)

වර්තමාන විදුහල්පති ප්‍රේමසිරි ඈපා ගුරු පියාණන්ගේ ගෝත්‍රික හා අන්තවාදී නොවන සම්මා දිට්ඨි, සම්මා වාචා සහ සම්මා වායාම ත්‍රිත්වය බහු සංස්කෘතික සහයෝගීතාවයට මහඟු ශක්තියකි. අවාසනාවක මහත ශ්‍රී ලංකාවට එවැනි පාලකයෝ නැත.

මගේ පූර්ව රංගය දීර්ඝ බැවින් ජවනිකාවට එමි. ඉහත වාක්‍යයක සඳහන් පරිදි බහුතරය සිංහල බෞද්ධ වුවත් ඉසිපතන දරුවන්ගේ ආගම රගර්ය. තවත් ආගම් නැතුවා නොවේ. වාර්ෂිකව ආමිස පූජා පවත්වන ක්‍රිකට්ය. හොකී, පාපන්දු, පැසිපන්දු යනාදිය තවත් ආගම්ය. අධ්‍යාපනය පමනක්ම ආගම කරගත් දරුවෝද වෙති. ඒ අතර ඕල්රවුන්ඩස්ලාද සිටිති. එ් අධ්‍යාපනය, ක්‍රීඩා සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් බැලන්ස් කරගන්නා එකකට පමණක් අන්ධ නොවූ ඒහි පක්සික බැතිමතුන්ය.

මේ ටෙක්ස්ට් එකේ මගේ ප්‍රවාදය වන්නේ "සියලු මිනිසුන් මැරෙන සුළුය, සොක්‍රටීස් මිනිසෙකි, එම නිසා සොක්‍රටීස් ද මැරෙන සුළුය." ලොජික් එක නොවේ. "සියලු වහබ්වාදීන් මුසල්මානුවන්ය, එහෙත් සියලු මුසල්මානුවන් වහබ්වාදීන් නොවේය" යන ලොජික් එකය.

ඉසිපතනයේ මුසල්මානු සහෝදරත්වය දෙසට හැරෙමි. ඉසිපතනයේ ආගම වූ රගර් ආමිසයෙන් ඇදහූ සහ රගර් පිළිවෙතෙහි යෙදුණු හාෆි ආබ්දීන්, ෆායිස් ඉස්මයිල් (හිටපු දක්ෂ මලල ක්‍රීඩකයෙක්ද වේ), රාජබ්ඩීන්, සැන්ඩි හමීඩ්(මගේ දැනුමේ හැටියට සැන්ඩි දැනට ජීවතුන් අතර නැත.)එම්. පී. එෆ්. සලේ, මොහොමඩ් ඉෆ්තිකාර්, එම්. ආමිත්, මෙහොමඩ් නූර්දීන්, ෆයිසාල් බොන්සෝ(උසස් පෙළ සඳහා වෙස්ලි විදුහලට ඇතුල් වුවත් ඉසිපතනයට බොක්කෙන්ම ආදරය කෙරූවෙකි.) මොහොමඩ් ඉර්ෂාඩ්.

හිෂාම් ආබ්දීන්(මරදාන සහිරා විදුහලින් ඉසිපතනයට ආවේ ක්‍රිකට් ගසන්නටය. ආදි ඉසිපතන කීර්තිමත් දක්ෂතම රගර් පුහුණුකරුවෙක් වූ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ඕ.ඩබ්ලිව්.ආර්. පෙරේරාගේ මඟ පෙන්වීම නිසා හිෂාම් ආබ්දීන් ඉසිපතනයේ රගර් ක්‍රීඩාවටත් යොමුවිය. ඉසිපතන සිසුවෙකුව සිටින ගමන්ම 1980 දී ශ්‍රී ලංකා සත්සාමාජික රගර් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා වර්ණ දිනා ගත්තේය. ඉසිපතනයේ ජයග්‍රහණය වෙනුවෙන් දහදිය හෙලූ අනෙක් ක්‍රීඩකයන් අවතක්සේරු කරනවා නොව ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ දක්ෂතම රගර් ක්‍රීඩකයා හිෂාම් ආබ්දීන්ය.) මොහොමඩ් ෆයාස්, නිෂාම් ජමාල්දීන්(ශ්‍රී ලංකා වර්ණ දිනූවෙකි) ෂ්‍යාම් සිද්දික් (ශ්‍රී ලංකා වර්ණ දිනූවෙකි) සබීන් සිද්දික්(වර්තමාන රගර් කමිටු සභාපති), ෂයින් සිද්දික්( සිද්දික් සොහොයුරන්) සෙල්වින් සලේ, ෂම්ලි නවාස්(ශ්‍රී ලංකා වර්ණ දිනූ මොහු වර්තමානයේ දක්ෂ රගර් පුහුණුකරුවෙකි.)තුවාන් බෝරාන්, අලි වාහිඩ්, රීසා මුබාරක්, සලීම් අසාර්, රස්මි හෆීල්(ඉසිපතනයේ ආගම වූ රගර් වැළඳගත් බැතිමතුන්ගේ මෙම නම් ලැයිස්තුව 2000ට පෙර එකකි. මට මඟ හැරුණ තව බොහෝ නම් තිබිය හැක. ඔවුන් සමාවන්න.)

දැන් ක්‍රිකට් ආගමේ මොහීන් බුහාරි, ඩබල් ඉන්ටර්නැෂනල් දිනූ ක්‍රිකට් සහ හොකී ආගම කරගත් ෂාවුල් හමීඩ් උවයිසුල් කරනයින් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ හොකී වර්ණ දිනාගත්තෙකි. මොහුගේ වැඩිමහල් සොයුරු ෂාවුල් හමීඩ් මොහොමඩ් කුතුබ්දීන් ද ඉසිපතනයේ ක්‍රිකට් සහ හොකී ආගම කරගත්තත් ඔහුට ශ්‍රී ලංකා වර්ණ දිනාගත හැකි වූයේ හොකී වලට පමණි.( කුතුබ්දීන්ගේ සහ කර්නයින්ගේ පියා 1979, 80, 81වර්ෂවල තම පුතුන් දෙදෙනා ක්‍රීඩා කරන ක්‍රිකට් සහ හොකී තරඟ නැරඹීමට පැමිණේ. ඔහුගේ සුපුරුදු ඇඳුම මුසල්මානුවන් අඳින දිගු ලෝගුව සමඟ දිගු කලිසම හෝ සරම නොවේ. සුදු පැහති නැෂනල් කමිසය සහ සුදු සරමය.) සුප්‍රසිද්ධ හමීඩියාස් වෙළඳ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ෆවුසල් හමීඩ් ද 1979 දී මරදාන සහිරා විදුහලින් ඉසිපතනයට පැමිණ ක්‍රිකට් ආගම කරගෙන ක්‍රීඩා පිළිවෙත් කෙරූවෙකි.

මින් මා මතු කරන්නේ ඉසිපතනයේ මහා සංස්කෘතියට තම සංස්කෘතික අනන්‍යතාවයන් සමඟ අනුගත වූ ආදි ඉසිපතන මුසල්මානු සහෝදරයන්ගේ මිත්‍රශීලී සහෝදරත්වයයි. ඔවුන් එදා ටීම් වර්ක් එකකින් දිනවූයේ ඉසිපතන මාතාවගේ කීර්ති නාමයයි.

මගේ ටෙක්ස්ට් එකෙන් ඉසිපතනයේ ආගම වූ රගර් වෙනුවෙන් ආදි ඉසිපතන සිංහල, දෙමළ, බර්ගර් බැතිමතුන් පූජාවන් ලෙස සියඹලා නොගෙනාවේ නැති බවද අවධාරනය කරන්නෙමි. ප්‍රතිරූප(images) හා මානව වාදය(humanism)බිඳ වැටෙන ගෝලීය වෙ‍ෙළඳ ලෝකයක නොබිඳෙන පූර්වාදර්ශයක් ලෙස ඉහත සංසිද්ධීන් ජාතීන් හා ආගම් අතර සහයෝගීතාවයක් නඩත්තු කරනු ඇත යන්න මගේ විශ්වාසයයි.

ආදි සහ වර්තමාන ඉසිපතන මුසල්මානුවන් වෙතට ආදි සහ වර්තමාන ඉසිපතන සිංහල, දෙමළ සහෝදරත්වයේ දෑත් දිගු කරමු. බලලෝභී තකතීරු පාලකයින්ට ශ්‍රී ලංකාව ඇතුලේ කරගන්න බැරි දේ ඉසිපතනය ඇතුලේ තිබෙන ශ්‍රී ලංකාවෙන් ප්‍රායෝගිකත්වයට නැංවීමෙන් පෙන්වමු.

රගර් ආගම කරගත් ආදි හා වර්තමාන ඉසිපතන මුසල්මානුවන්ද ISIS වහාබ් ත්‍රස්තවාදයේ මිලේච්ඡ ආගමික අන්තවාදය පිළිකෙව් කළත් ඔවුන් මාංශභක්ෂකයින් නිසා මස් කපන පිහි පමනක් කුස්සිවල ඇත.(සිංහල, දෙමළ ප්‍රජාවගේත් මාංශභක්ෂකයින් සිටින නිසා ඔවුන්ගේ කුස්සිවලත් මස් කපන පිහි පමනක් තිබීමට පුළුවන.)

රගර්, ක්‍රිකට්, හොකී, පාපන්දු කරගෙන පිළිවෙත් පිරූ සහ පුරන ආදි සහ වර්තමාන ඉසිපතන මුසල්මානුවන්ගේ ගෙවල් පරීක්ෂා කරන්න. ඔවුන්ගේ ගෙවල් වල කඩු කිනිසි සහ ස්වයංක්‍රීය ගිනි අවි වෙනුවට ඇත්තේ මේවාය. ජර්සි, රගර් බෝල, ස්ට්‍රොකින්ස් සහ රගර් බූට්ස්ය. බැට්, පෑඩ්ස්, තයි පෑඩ්ස්, බෝල් ගාඩ්ස්, හෙල්මට්ය, ලෙදර් බෝල්ය. ෆුට්බෝල්ය, ජර්සි සහ ෆුට්බෝල් බූට්ස්ය.

රගර් ආගම කරගත් ඉසිපතනයේ අප විසින් කළ යුත්තේ අන්තවාදයට ටැකල් කිරීමය. ඉදිරියට දුවමින් සාමූහිකව අතින් අතට පාස් කරන මනුෂ්‍යත්වය නැමති රගර් බෝලය ගෝල් කනුව වෙතට රැගෙන යාමය.

[සරත් චන්දා වල්පොල]

මාතෘකා