මාලිංග විශ්‍රාම යෑමෙන් පසුව ශ්‍රී ලංකාව පළමු එක්දින ජය ලබයි

 ඡායාරූපය:

මාලිංග විශ්‍රාම යෑමෙන් පසුව ශ්‍රී ලංකාව පළමු එක්දින ජය ලබයි

ලසිත් මාලිංග නොමැති කණ්ඩායමටද තරග ජයගත හැකි බව පෙන්වමින් බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සමත් විය.

ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලි පරාජයේ පැවැති වසර හතරකට ආසන්න නියං සමයට වැසි පොදක් හෙලමින් මෙම එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව හැකිවිණි.

නව නායක දිමුත් කරුණාරත්න නව නායකයා වශයෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අන්ත පරාජයක් නොලැබූ අතර තරග 4ක් පමණක් පරාජය වී තරග 3ක් ජය ගනිමින් යම් ගෞරවයක් සහිතව තරගාවලිය අවසන් කිරීමට සමත් වීමෙන් අනතුරුව ලැබූ පළමු තරගාවලි ජය මෙයයි. බංග්ලාදේශය සමග පළමු තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නායක කරුණාරත්න පවසා සිටියේ තරගය ජයගනිමින් මාලිංගට හොඳ සමුදීමක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. එය ඒ ආකාරයට ම සිදුවූ අතර මාලිංගගේ දක්ෂතාවද සහිතව තරගය පහසුවෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දෙවැනි තරගය අරඹන විට ශ්‍රී ලංකා නායකයා මුහුණ දුන් ප්‍රධාන අර්බුදය වූයේ පළමු තරගයේ ලබාගත් ජයග්‍රාහී රිද්මය දිගින් දිගටම පවත්වා ගැනීමයි. දෙවැනි අභියෝගය වූයේ මාලිංග නැතිව තරග ජයගත හැකි බවද පෙන්වීමයි. බංග්ලාදේශය සමග දෙවැනි තරගයද ජයගනිමින් කරුණාරත්න එම අභියෝගයද ජය ගැනීමට සමත් විය. ඒ සමගම වසර 4කට ආසන්න කාලයකදී එක්දින තරගාවලියක් මෙරටදී ජයගත් නායකයා වන්නේද ඔහුය.

ශ්‍රී ලංකා නායකයා මුහුණ දෙන තෙවැනි සහ ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ පැවැත්වීමට නියමිත නවසීලන්ත සංචාරයද සමඟ ඉදිරියට පැමිණෙන අනෙක් තරගාවලි සාර්ථකව අවසන් කිරීමයි. තරගාවලි දිගින් දිගටම ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අපේක්ෂා නොකරන නමුත් සෑම තරගාවලියක්ම පරාජය වීමද අපේක්ෂා නොකෙරේ.

ඒ සඳහා පළමු තරගයේ මාලිංග සමග ක්‍රීඩා කළ අයුරින්ම මාලිංග නොමැතිව දෙවැනි තරගය ක්‍රීඩා කළ ආකාරයද නැවත මෙනෙහිකර බැලීම ඉතා වටිනා කරුණකි. අවසන් තරගයේදී නවක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙන් පළපුරුදු ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රීඩා රටාව පිළිබඳව ශ්‍රී ලංකා නායකයා සෑහීමට පත්ව ඇතැයි පැහැදිලිය.

බංග්ලාදේශය ලබාගත් ලකුණු 238 ඉලක්කය ජය ගැනීමට ශ්‍රීලංකා පිතිකරුවන් වැය කළේ පන්දුවාර 45ක් පමණක් වන අතර ඒ අතර වාරයේ දැවී ගියේ පිතිකරුවන් තිදෙනෙක් පමණි.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය (පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී) 238

(මුෂ්ෆිකර් රහීම් 98, මෙහෙදි හසන් 43, තමීම් ඉක්බාල් 19, අකිල ධනංජය 2/39, නුවන් ප්‍රදීප් 2/53, ඉසුරු උදාන 2/58)

ශ්‍රී ලංකාව (පන්දුවාර 44.4කදී කඩුලු 3ක් දැවී) 242

(අවිශ්ක ප්‍රනාන්දු 82, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 52, කුසල් මෙන්ඩිස් නොදැවී 41, මුෂ්ටාෆිසුර් රහමාන් 2/50)

මාතෘකා