මහේලලාගේ ශ්‍රී ලංකා ක්‍රිකට් යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට

 ඡායාරූපය:

මහේලලාගේ ශ්‍රී ලංකා ක්‍රිකට් යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට

මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව සකස් කළ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව යළි සුපුරුදු ජයග්‍රාහී රිද්මය සොයා ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදු කළ යුතු බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අයි.සී.සී. අනුදැනුම සහිතව සංශෝධනයන් සිදුකිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහය වෙනස් කළ යුතු බවත් නිලවරණය පැවැත්වීමේදී ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අවම සංඛ්‍යාවකට පත් කළ යුතු බවත් විවිධ පාර්ශ්ව විසින් යෝජනා කර තිබුණේය. ඒ අනුව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සිදුකළ නමුත් එකී වාර්තාව අනුව කටයුතු කිරීම සිදු නොවුණි.

වත්මන් අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යංශය බාරගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ ගැටුම්කාරී තත්ත්වයකින් තොරව ක්‍රීඩාව පවත්වාගෙන යාම තමන්ගේ අපේක්ෂාව බවයි. කිසිදු අතුරු කමිටු පාලනයකට තමන් එකඟත්වය ප්‍රකාශ නොකරන බව කී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේ දේශපාලන අතපෙවීම් වලින් තොරව ක්‍රීඩාව පවත්වාගෙන යාමට උපරිම සහය දැක්වීම තම අපේක්ෂාවයි යනුවෙනි. ඒ අනුව ක්‍රීඩා කණ්ඩායම් නම් කිරීමේදී හෝ තේරීම් කමිටු නම් කිරීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා අවසාන බලාත්මක භාවය පවත්වාගෙන යාම පවා වෙනස්විය යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයකු වශයෙන් රාජ්‍ය මුදල් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කරමින් විදේශීය සංචාරවල නිරතවීම අනුචිත බවද ඒ මහතා ප්‍රකාශ කළ අතර ඔස්ට්‍රේලියාවේ පැවැති ටෙස්ට් සංචාරයක් නැරඹීම පිණිස සිය පෞද්ගලික මුදල් භාවිත කරමින් සංචාරය කිරීමටද කටයුතු කළේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ ස්ථානය සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදරිපත් කිරීමට අමාත්‍යවරයා විසින් තීරණය කර තිබේ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා