ක්‍රිකට් පිලට අහිමිවූ කිරුළ දැල්පන්දු ක්‍රීඩිකාවෝ රැගෙන යති

 ඡායාරූපය:

ක්‍රිකට් පිලට අහිමිවූ කිරුළ දැල්පන්දු ක්‍රීඩිකාවෝ රැගෙන යති

ලෝක දැල්පන්දු ශූරතාව නවසීලන්තයට

ක්‍රිකට් ලෝක කුසලානයේදී අවාසනාව හේතුවෙන් අහිමිවූ ලෝක කිරුළේ වේදනාව යටපත්වීමට ප්‍රථම නවසීලන්ත ක්‍රීඩා ලෝලීහු සතුටේ ගිල්වමින් පස්වැනි වරටත් දැල්පන්දු ලෝක ශූරතාව සිය රට වෙත රැගෙන යාමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූ හ. එංගලන්තයේ ලිවර්පූල්හි ඉරිදා (21) අවසන් වුණු දැල්පන්දු ලෝක ශූරතා අවසන් මහා තරගයෙන් තියුණු ජයක් සනිටුහන් කරමින් ලෝක ශූර ඔස්ට්‍රේලියාව අනුශූරියන් බවට පත්කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවන්ට හැකිවිණි.

තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කෙරේ යන්න සනාථ කරවමින් නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගය පුරා තියුණු සටනක් ලබාදෙමින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ව යටපත් කරනු දක්නට ලැබිණි. නරඹන්නන්ට වඩාත් උද්යෝගයක් එක් කළ මෙම ලෝක ශූරතා දැල්පන්දු අවසන් මහා තරගයේදී දෙපිලේ ලකුණු තත්ත්වය කියැවුණේ 52-51ක් වශයෙනි.

දහසය වතාවක් එකිනෙකා හමුවී ඇති නමුත් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් තරගයකදී එකිනෙකා හමුවූ හත්වැනි අවස්ථාව මෙය විය. ලිවර්පූල් ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටියවුන් සාක්ෂිකරුවන් කරගනිමින් කණ්ඩායම් දෙකම තියුණු තරගයක නිරතවනු දක්නට ලැබිණි.

පළමු මිනිත්තු අට අවසන් වනවිට ඔස්ට්‍රේලියාව 8-4ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්විය. කෙසේ නමුත් පළමු කාර්තුව අවසන් වනවිට දෙපිලම සම ලකුණු ලබමින් 10-10ක් වශයෙන් ලකුණු තත්ත්වය කියැවිණි. දෙවැනි කාර්තුව එනම් තරගයේ දෙවැනි අර්ධය අවසානයේදී 28-25ක් ලෙස ඉදිරියෙන් සිටීමට නවසීලන්තය සමත්ව තිබිණි.

තෙවැනි කාර්තුවේදී 31-26ක් ලෙසින් තවත් ඉදිරියට ගමන් ගත් නවසීලන්තය කාර්තුව අවසන් වීමට මිනිත්තු හතක් තිබියදී 36-29ක් ලෙස ඉදිරියෙන් සිටියේය. කාර්තුව අවසන්වනවිට ලකුණු තත්ත්වය කියැවුණේ 41-37ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටිමිනි.

සිව්වැනි සහ අවසන් කාර්තුව ආරම්භයේ සිටම තරගය තවත් තියුණු ස්වභාවයක් ගත් අතර එය අවසන් වීමට මිනිත්තු පහක් තිබියදී ලකුණු තත්ත්වය කියැවුණේ 48-47ක් වීම එම කාර්තුවේ පැවැති තරගයේ තියුණු බව වටහාගැනීමට ප්‍රමාණවත්ය. තරගය අවසන් වීමට තත්ත්පර අනූවක් පමණක් තිබියදී ලකුණු තත්ත්වය කියැවුණේ 51-48ක් වශයෙන් නවසීලන්තය ඉදිරියෙන් තබමිනි. එහෙත් එම තත්පර අනූව තුළ තරගයේ ලකුණු පරතරය වෙනස් කරගැනීමට ඔස්ට්‍රේලියාව අසමත් වූ අතර නවසීලන්තය මෙවර දැල්පන්දු ලෝක ශූරතාවේ සාඩම්බර හිමිකාරිණියන් බවට අභිෂේක ලැබීය.

අවසන් පූර්ව වටයේදී නවසීලන්තය විසින් එංගලන්තය පරාජය කළ අතර ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව අභිබවමින් අවසන් තරගයට පිවිස තිබුණේය. තරගයේ තෙවැනි ස්ථානය සත්කාරක එංගලන්තයට හිමිවූ අතර ලකුණු 58-42ක් වශයෙන් ඔවුන් ජයලැබූවේ දකුණු අප්‍රිකානුවන් පරාජය කරමිනි. සිව්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවිය.

පස්වැනි ස්ථානය ජැමෙයිකාවටත්, හයවැනි ස්ථානය මලාවි කණ්ඩායමටත් හිමිවූ අතර හත සහ අට වැනි ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ උගන්ඩා කණ්ඩායම්වලට හිමිවිය. නව වැනි ස්ථානය උතුරු අයර්ලන්තයටත්, දහ වැනි ස්ථානය ට්‍රිනිඩෑඩ් ටුබැගෝ කණ්ඩායමටත් බාබෙඩෝස් සහ ස්කොට්ලන්තයට එකළොස්වැනි හා දොළොස් වැනි ස්ථානයත් හිමිව ඇත. දහ තුන සහ දහ හතර ස්ථානවලට පත්ව ඇත්තේ සැමෝවා හා ෆීජී කණ්ඩායම්ය. පහළොව සහ දහසය වැනි ස්ථාන ආසියාවට ලබාදෙමින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව ඊට හිමිකම් කීය.

මාතෘකා