ශ්‍රී ලංකා ක්‍රිකට් වේග මාපකය අක්‍රියයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් වේග මාපකය අක්‍රියයි

වේග පන්දුයවන්නන්ගේ වේගය සොයන්න ක්‍රමයක් නෑ

ජී.පී.එස්. තාක්ෂණ පද්ධතිය අල්මාරියේ පුස් කයි

ශ්‍රී ලංකා වේග පන්දුයවන්නන්ගේ වේගය මැන බැලීමට යොදාගනු ලබන වේග මාපකය අක්‍රියව ඇතිබව පසුගියදා කොළඹ එන්.සී.සී. පිටියේදී ජාතික තලයේ වේග පන්දුයවන්නන්ගේ වේගය මැන බැලීමකදී අනාවරණය විය. මේ වනවිට වේග පන්දුයවන්නන්ගේ වේගය මැනීමට යොදාගත හැකි නිවැරදි වේග මාපකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව නැතිබවද එහිදී හෙළිදරව් විණි. දැනට ක්‍රිකට් ආයතනය භාවිත කරන වේග මාපකය සදොස් අගයක් සැමවිටම ක්‍රමාංකනය කරන්නේ යැයි කිසිදු බලධාරියකුට නිසි පරිදි දැනුවත් කිරීමට පුහුණු අංශ නිලධාරීන් කටයුතු කර නොතිබීම මෙම තත්ත්වය ඔඩුදිවීමට හේතුවී ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ තමන් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් නොදැන සිටි බවයි. ‘පුහුණුකරුවන්ගේ අංශයෙන් තමයි අපට ඒ ගැන දැනුම් දෙන්න අවශ්‍ය වන්නේ. අපි එහෙම වුණානම් වේග මාපයක් අලුතින් ගන්නවා. දැනට භාවිත කරන එක කවදා ඉඳලා වැඩ නොකරනවද කියන්න අපි දන්නෙ නෑ. අපි මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්නවා. සභාපතිතුමා ලංකාවට ආපු ගමන් ඒ ගැන කටයුතු කරනවා’ යැයි පැවසීය.

මේ අතර ක්‍රීඩකයන්ගේ චලන ක්‍රියාකාරකම් ඇතුළුව සිදුකරනු ලබන පරීක්ෂණ උදෙසා යොදාගන්නා ජී.පී.එස්. තාක්ෂණය ශ්‍රී ලංකාවද ප්‍රයෝජනයට ගන්නේයැයි පැවතුණද එම තාක්ෂණ පද්ධතියට අයත් උපකරණය පුහුණු අංශයේ අල්මාරියක් තුළ දමා අගුළුලා ඇතැයි හෙළිව තිබේ. මෙම තාක්ෂණය ඉහළ දක්ෂතා ඇගයීමේදී භාවිතයට ගැනීමට තීරණය වුණු නමුත් මෙතෙක් කිසිවකු විසින් හෝ එය භාවිතයට ගෙන නැත. මෙම ජී.පී.එස්. තාක්ෂණය ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි රාජ්‍යයන් විසින් ඉතා සුඛනම්‍ය ලෙස සිය පෙර පුහුණු කටයුතු වලදීමෙන්ම තරගයන්හිදීද යොදා ගැනේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ එකී තාක්ෂණය හමස් පෙට්ටියේ දමා ඇත්තේ කවර අරමුණකින්ද යන්න මේ වනවිට දැඩි ප්‍රශ්නයක්ව ඇත.

මෙවැනි අර්බුදකාරී කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර වහා විසඳුම් සෙවීමට කටයුතු කළ යුතුබව දැනටමත් වත්මන් ක්‍රිකට් පරිපාලනයට දැනුම්දී ඇති අතර සභාපති ෂම්මි සිල්වා ශ්‍රී ලංකාවට පැමිණි පසු ජනප්‍රිය නොවන තීරණ රැසක් ගනිමින් ක්‍රිකට් පරිපාලනයේ නව්‍ය වෙනස්කම් රැසක් සිදුකිරීමට කටයුතු කරනු ඇතැයි පැවසිණි. එසේ ඔහු ක්‍රියාත්මක නොවන්නේ නම් එය ෂම්මි සිල්වා පාලනයත් පැරණි පාලනයන්ගේ අදූරදර්ශී භාවයේ මඟම ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති. ජනාධිපති සම්මාන උලෙළ සඳහා එක්ව සිටි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වත්මන් ක්‍රිකට් පුහුණුකාරිත්වය ඉවත්කර යළි නව පුහුණුකාර මණ්ඩලයක් ඇතිකිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද මෙවැනි සිද්ධි හා සමපාත සංසිද්ධීන් ලෙස සඳහන්ය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා