2019 අයි.සී.සී. ලෝක කුසලාන සම ශූරතාවක් විය යුතුයි

 ඡායාරූපය:

2019 අයි.සී.සී. ලෝක කුසලාන සම ශූරතාවක් විය යුතුයි

ශ්‍රීමත් ගැරී සෝබර්ස්

ඔට්ටු අල්ලන්නෙක් නවසීලන්තය වෙනුවෙන් ඇල්ලූ ඔට්ටු මුදල් ආපසු ගෙවයි

පසුගියදා නිමාවට පත්වූ ලෝක කුසලානය සම ශූරතාවක් වශයෙන් එංගලන්තය සහ නවසීලන්තය අතර බෙදාදිය යුතු බව ශ්‍රීමත් ගැරී සෝබර්ස් පවසයි. විදෙස් මාධ්‍ය සමඟ අදහස් දක්වමින් සෝබර්ස් පවසා ඇත්තේ, ‘තරගයේ හා සුපිරි පන්දුවාරයේදී ලකුණු සමාන වුණානම් ජයග්‍රාහකයා එංගලන්තය කියලා ප්‍රකාශවීම කොතරම් සාධාරණද? ඇයි නවසීලන්තය සම ශූරයන් ලෙස නොසැලකුවේ? තරගාවලියට පෙර තිබුණු නීති වලට අනුව ජයග්‍රාහකයා තෝරන්නේ එහෙම නම් ඒක එංගලන්තයට හිමිවිය හැකියි. ඔවුන් එය රැගෙන යාවි. නමුත් ලෝක කුසලානය ඔසවන අවස්ථාවේ එය සමව එසවීමේ අවස්ථාවක් නවසීලන්ත නායකයාටත් ලබාදිය යුතුයි’ ඔහු පෙන්වා දෙයි.

මේ අතර පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායකයකු වන අසීෆ් ඉක්බාල් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවර ලෝක කුසලානය සමව බෙදීයායුතු බවයි. ‘මගේ අදහස එය එංගලන්තයට හා නවසීලන්තයට යන රටවල් ද්විත්වයටම අයිතියි. ඒක හරිම විස්මිත ලෝක කුසලාන අවසන් තරගයක්. මෙතෙක් තිබුණු හොඳම එක’ ඉක්බාල් පවසන්නේය.

ක්‍රිකට් දත්ත විශ්ලේෂකයන් කීපදෙනෙකුද අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ අවසන් තරගයේ ජයග්‍රාහකයා හතරේ පහර මගින් තීරණය කිරීමෙන් තරගයේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව කෙරේ කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බවයි. ‘නවසීලන්තයේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව එංගලන්තයේ දැවී ගිය කඩුලු සංඛ්‍යාවට වඩා දෙකක් අඩුයි. ඒ ගැන කිසි දෙයක් සලකලා නැහැ. අනික මේක පිතිකරුවන්ගේ තරගාවලියක්. තරගයක පන්දුවාර 50කට පහර දෙන්න පිතිකරුවකුට පුලුවන්. ඒත් පන්දුයවන්නකුට පුලුවන් වෙන්නේ පන්දුවාර 10ක් යවන්න විතරයි.

මේ අතර ඔස්ට්‍රේලියානු තරග ඔට්ටුතබන්නකු විසින් නවසීලන්තය ජයගන්නා බවට පවසමින් ඇල්ලු සියලු ඔට්ටු යළි එම ඔට්ටු ඇල්ලූවන්ට ගෙවීමට කටයුතු කර ඇත්තේ නවසීලන්තය අවසන් තරගයෙන් පරාජය නොවූ හෙයිනි.

මාතෘකා