කැනඩා යන උත්සාහය තිසර අත් නොහරී

කැනඩා යන උත්සාහය තිසර අත් නොහරී

ලෝක පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා කැනඩාවට යාමට තිසර පෙරේරා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා සඳහන් කළේ බංග්ලාදේශ සංචාරය හේතුවෙන් ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

තිස් හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරග තුනට ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එම තරගාවලිය ජූලි 31 වැනිදා අවසන් වන හෙයින් එම කාලය තුළ මෙරටින් පිටව වෙනත් තරගාවලියක් වෙනුවෙන් සහභාගි නොවන ලෙස තිසර පෙරේරාට දැනුම්දී ඇතැයි එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය. ‘ඔහු එයට එකඟ වුණා. නමුත් ඔහු දැන් කියනවා බංග්ලාදේශ සංචාරයෙන් පසුව තමන්ව නිදහස් කරන්න කියා.’ එහෙත් එය පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැත.

මේ අතර කැනඩාවේ පැවැත්වෙන ගෝලීය ක්‍රිකට් තරගාවලියට නිරෝෂන් දික්වැල්ල සහභාගිවීමට නියමිතව සිටියද පසුව ඔහු ඉන් ඉවත්විය. ඒ අනුව එම තරගාවලියට දිනේෂ් චන්දිමාල්ගේ නම ඇතුළත් කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබේ.

ගෝලීය පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය කැනඩාව කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ අනුව එම තරගාවලිය වෙනුවෙන් අගෝස්තු 1 වැනිදායින් පසු සහභාගිවීමට තිසර පෙරේරාගේ උත්සාහය බව සඳහන්ය.a

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට ඔහු ඇතුළත්ව නැති හෙයින් ඒ සඳහා සහභාගිවීමට උත්සුක වන ලෙස කැනඩා සංවිධායකයන් තිසරට වැඩිදුරටත් යෝජනාකර තිබේ.

මාතෘකා