මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීවගුණය

 ඡායාරූපය:

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීවගුණය

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස අප හැමෝම දන්නා ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාව පසුගිය ඉරිදා (14) රාත්‍රියේ උදා වුණා. ඒ නිකම්ම නෙවෙයි. මුදල් මතම පදනම් වුණ අයි.පී.එල්., බී.පී.එල්., බිග් බෑෂ් වගේ තරගාවලි කොතරම් පැවැත්වුවත් ක්‍රිකට් ක්‍රීඩාව උඩින් කොයිතරම් සල්ලි විසි වුණත් ක්‍රිකට් පිටියේ තවමත් මහත්මා ගුණය ඇති බව ඔප්පු කරමින්.

අවසන් ප්‍රතිඵලය දැනටමත් අපි දන්නවා. ඒ වගේ අවසන් ප්‍රතිඵලයක් අවුරුදු 44ක් පරණ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අපි දැක්කේ පළවෙනි වතාවට. දක්ෂතා අතින් එක හා සමාන මට්ටමක හිටිය කණ්ඩායම් දෙකක සුපිරි එක්දින තරගයක්. ඒ වගේ තරගයක් ලෝක කුසලාන අවසන් තරගයක දකිනවා කියන්නෙම කලාතුරකින් සිද්ධවෙන දෙයක්. ඒ වගේම නියම ක්‍රිකට් තියෙන්නේ එතැන. අවසන් තරගයට තමන්ගේ කණ්ඩායම් සුදුසුකම් නොලැබීම ගැන කණගාටුවෙන ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලින් වුණත් ඒ වගේ කණ්ඩායම් දෙකක් අවසන් තරගයට සුදුසුකම් ලැබීම ගැන දශමයකින් හෝ අකමැති වෙන එකක් නැහැ.

අවසන් තරගයක තියෙන්න ඕන උපරිම තරගකාරීත්වය තියෙන අතරේ කණ්ඩායම් දෙකම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය උපරිම ආකාරයෙන් රැක ගනිමින් ක්‍රීඩා කිරීම දැක ගන්න ලැබීමම හැම ක්‍රිකට් ලෝලියෙක්ම සතුටුවෙන කාරණයක්. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවල ලැබුණු දුර්වල විනිසුරු තින්දු හමුවේ පවා කණ්ඩායම් දෙකම උපරිමයෙන්ම ඉවසීමෙන් ක්‍රිඩා කළා. නවසීලන්ත ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ මාටින් ගප්ටිල් සහ හෙන්රි නිකොල් සම්බන්ධයෙන් ලැබුණු විනිසුරු තීන්දු නැවත සලකා බලන්න යොමුකර නිවැරදි කරගන්න කණ්ඩායම් දෙකටම හැකි වුණා. රොස් ටේලර් ගේ දැවී යාම සම්බණ්ධයෙන් ලැබුණු වැරදි තීන්දුව වගේම එංගලන්ත ඉනිමේ පළමු පන්දුවට නවසිලන්තයට ලබා ගැනීමට තිබූ ජේසන් රෝයිගේ කඩුල්ල අහිමිවී යෑමද ඒ අතරින් ප්‍රධානයි.

විශේෂයෙන්ම අවසන් පන්දු 3ට ලකුණු 9ක් ලබා ගැනීමට තිබූ අවස්ථාවේදී බෙන් ස්ටොක්ස් දෙවැනි ලකුණ සඳහා පැති මාරු කරන අවස්ථාවේ මාටින් ගප්ටිල් කඩුලු රකින්නාට යොමුකළ පන්දුව තමන්ගේ සීමා ඉර වෙත වේගයෙන් දිව ආ බෙන් ස්ටොක්ස් ගේ පිත්තේ වැදී හතරේ සීමාව ඉක්මවා ගියා. දිව ගිය ලකුණුද සමඟ එංගලන්තයට ලකුණු 6ක් හිමිවුණා. නිවැරදි තීන්දුව වෙන්න ඕන ලකුණු 5ක් වුණත් නවසීලන්ත නායකයා ඒ සම්බන්්ධයෙන් ඉතා සන්සුන්ව ප්‍රතිචාර දැක් වූවා. කුමන අවස්ථාවක වුණත් ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අනවශ්‍ය වචන හුවමාරුවක් හෝ ඇති කර නොගැනීමට පරිස්සම් වුණා.

ඒ අවස්ථාව මතක්කරමින් බෙන් ස්ටොක්ස් පසුව කළ ප්‍රකාශයද අතිශයින්ම වැදගත් ‘‘ඒ අවස්ථාවේ මගේ පිත්තේ වැදිල පන්දුව හතරේ සීමාවට ගිය එක ගැන මම ජීවිත කාලෙටම විලියම්සන්ගෙන් සමාව ගන්නවා‘‘

හරියටම අවරුද්දකට පෙර එංගලන්තයේදීම රාත්‍රී සමාජශාලාවක බීමතින් කළහ කරගෙන උසාවියෙන් වැරදිකාරයෙක් වුණු බෙන් ස්ටොක්ස් අවසන් තරගයේදී හැසිරුණු ආකාරය සැබැවින්ම විස්මය ජනකයි. ඒ මහත්වරුන්ගේ ක්‍රීඩාව නිසාද දඬුවමෙන් පසු හැදිලා නිසාද පැහැදිලි නැහැ. නමුත් අවසන් තරගයක ජීව ගුණය තියන්න ස්ටොක්ස් සමත් වුණා.

අවසන් තරගයක ජීව ගුණය තියාගෙන ක්‍රීඩාකරන එක අද ඊයෙක වෙචච දෙයක් නොවෙයි අවසන් තරගවලදී ක්‍රීඩකයන් අතර මෙන්ම විනිසුරු තීරණ ගැනද නරක ප්‍රතිචාර ඒ තරම්ම ලැබිලා නැහැ. ඒක ඉතාමත්ම හොඳ දෙයක්.

ලෝක කුසලාන ජයගත් නායකයන්ගේ නාම ලේඛනය ගෙන බැලුවත් අපිට ඒක පැහැදිලියි. ක්ලයිව් ලෝයිඩ්ගෙන් පටන් අරන් ඉයොන් මෝගන්ගෙන් දැනට නැවතිලා තියෙන මේ නාමාවලියේ ඔස්ට්‍රේලියානුවො හතර දෙනෙක් ඉන්නවා. ඉන්දියානුවෝ දෙන්නයි. එක් කොදෙව් නායකයයි. පාකිස්තානුවන් එක්කෙනයි. ශ්‍රී ලංකාවෙනුත් එක්කෙනයි. අලුතෙන්ම එකතු වුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන්ගෙන් කෙනෙක්.

ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්න නම් ක්‍රිකට්වලට අවශ්‍ය කරන්නෙම අංක එකට ක්‍රීඩාශීලීත්වය. අංක දෙකට මහත්මා ගුණය. අංක තුන මොකක් වුණත් පළවෙනි දෙකට පලුද්දක් වෙන දෙයක් නොවෙන්න ඕන. එතකොට ක්‍රිකට් ගැන අනවශ්‍ය ලොකු දේවල් කථා කරනන් වෙන්නෙ නැහැ.

මේ තරගය සඳහාත් ඉන්දියාව පුරාම ඔට්ටු අල්ලන්න සූදානම්වීම් ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. ඒවා වළක්වන්න ඉන්දීය බලධාරීන් කටයුතු කරන බවත් පැවසුණා. ඒත් ඔට්ටු අල්ලන්න ඇති. ලෝක කුසලාන අවසන් තරගය ගැනත් තව ටික දවසකින් මොනව හරි කවුරු කවුරු හරි කියන්න පුලුවන්. මොනව උනත් අපේ ඇස් ඉදිරියේ අවසන් වුණ අවසන් තරගය වගේ ක්‍රිකට් තරග බලන්න කවුරුවත් අකමැති වෙන එකක් නැහැ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ජනප්‍රිය වෙන්නත්, පහුගිය කාලේ ක්‍රිකට් එපා වෙලා හිටිය අයට නැවත වතාවක් ක්‍රිකට් ගැන පොඩි ඇල්මක් ඇතිවෙන්නත් මේ අවසන් තරගය ලොකු උත්තේජනයක් වුණා.

ක්‍රිකට් වලින් වැඩියෙන්ම සල්ලි හොයන ඉන්දියාව වගේම මොනව කරල හරි තරග දිනන්න හදන ඔස්ට්‍රේලියාවටත් මේ අවසන් තරගයෙන් ගන්න පාඩම් ගොඩක් තියෙනවා. (ඉන්දියාව නම් අවසන් පූර්ව තරගයෙන්ම නවසීලන්තයෙන් ඒ පාඩම ඉගෙන ගත්තා) ඒ වගේම බලාපොරොත්තුවක් නැතුව තරගාවලියට ගිහිල්ල යම් මට්ටමකින් තරගයක් දීල තරගාවලියේ හයවැනියා වෙලා ආව ශ්‍රී ලංකාවටත් පාඩම් ගන්න දේවල් තියෙනවා. හැබැයි මේ පාඩම් අපේ පරණ ක්‍රීඩකයන්ගෙන් මීට කාලෙකට කලින් ගන්න තිබුණා. විශේෂයෙන්ම ඇඟෙන්ම ක්‍රිකට් ගහන්නෙ කොහොමද කියලා. (Positive cricket) ඒ පාඩම් හරියට අරං ගෙදර වැඩ ටික තිතට කළොත් ලබන සැරේවත් මීට වඩා උත්තේජනයකින් අපිට අවසන් තරගය බලන්න පුලුවන් වෙයි. අපේ කණ්ඩායමත් ඒ තරගයේ හිටියොත්.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා