ආරක්ෂක පෙළේ ප්‍රබලත්වය හමුවේ ෆීජි සටනත් ශ්‍රී ලංකාව පරදියි

 ඡායාරූපය:

ආරක්ෂක පෙළේ ප්‍රබලත්වය හමුවේ ෆීජි සටනත් ශ්‍රී ලංකාව පරදියි

ෆීජි ආරක්ෂක පෙළේ දක්ෂතාව උපයෝගී කරගනිමින් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල හා පැවැති තරගයෙන් ලකුණු 59-44ක් ලෙස ගෝල ලකුණු 15කින් ජය ලැබීමට ෆීජි කණ්ඩායම සමත්විය. ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින ෆීජි කණ්ඩායම හමුවේ පරාජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඊයේ (17) ලිවර්පූල්හි එම් ඇන්ඩ් එස් බෑන්ක් අරීනා ගෘහස්ථා ක්‍රීඩාගාරයේ මෙම තරගය පැවැත්විණි.

තරගයේ පළමු කාර්තුව 11-10ක් ලෙසින් ජයග්‍රාහීව අවසන් කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ හෙයින් තියුණු තරගයක් දැකගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂාව විණි. එහෙත් දෙවැනි වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම පළමු කාර්තුවේ තරගකාරිත්වය අමතක කරමින් ෆීජි ක්‍රීඩිකාවන් අභිමුව එම කාර්තුව අවසන් කරගත්තේ 9-17ක් ලෙස පසුපසින් සිටිමිනි. එවිට ලකුණු තත්ත්වය දැක්වුණේ 27-20ක් ලෙස ෆීජි කණ්ඩායම පෙරමුණට ගනිමිනි.

තෙවැනි කාර්තුවේදීද ඉතා පහසු ආක්‍රමණයක නිරතවුණු ෆීජි ක්‍රීඩිකාවෝ ස්වකීය දක්ෂතා විජයග්‍රහණය කර රැගෙන ගියේ එය 20-08ක් ලෙසින් පහසුවෙන් ජයග්‍රහණය කරමිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට යළි අභිබවා යාමට අසීරු ලකුණු තත්ත්වයක් එනම් 47-28ක් ලෙස ලකුණු පරතරයක් පවත්වාගෙන යාමට ෆීජි දූපත් ක්‍රීඩිකාවෝ සමත්ව සිටියහ.

දැඩි අවාසි සහගත තත්ත්වයක් යටතේ යළි තරගයට අවතීර්ණවූ ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි කාර්තුව ජයගැනීමට සමත්විය. එම කාර්තුවේ ලකුණු තත්ත්වය සටහන් වුණේ 16-12ක් ලෙසිනි. ඒ අනුව තරගය අවසානයේ ලකුණු තත්ත්වය ෆීජි දූපත් කණ්ඩායමට ජය හිමිකරදෙමින් දැක්වුණේ 59-44ක් වශයෙනි.

මෙම තරගයේදීත් පැහැදිලිව දක්නට ලැබුණු කාරණාව වූයේ සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල විදීමේදී ගෝල විදින්නිය වශයේ තර්ජනී ශිවලිංගම් ක්‍රීඩිකාව මතම වැඩි බරක් තබා තිබීමය. ප්‍රතිවාදී පිලේ උනෙයිසිසි රවුලිනි ගෝල 29ක් හා මෙටිලා වොසියා ගෝල 25ක් සාර්ථක කරගත් අතර ඔවුන් එහිදී ප්‍රතිවාදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුලාවට පත්කරමින් ලකුණු ලබාගැනීමට සමත් වූයේ පන්දුව හුවමාරු කරමිනි. එහෙත් ශ්‍රී ලංකාව තර්ජනී ශිවලිංගම් මත පමණක් වැඩි අපේක්ෂා තබාතිබීම හේතුවෙන් ගෝල් විදීමේ ක්‍රියාවලියේ යම් අඩාලවීමක් සහ යම් පමණකට ප්‍රතිවාදීන් හා සැසඳීමේදී අසාර්ථක වීමක් දක්නට ලැබුණු බව පැවසිය යුතුය.

ශ්‍රී ලංකාව සහ ෆීජි දූපත් කණ්ඩායම මෙයට පෙර සිව්වතාවක් එකිනෙකා හමුවී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ෆීජි කණ්ඩායම ජය හිමිකරගෙන ඇත. මෙම තරගයට පෙර ඔවුන් 2015 වසරේ සිඩ්නි නුවරදී හමුවූ අවස්ථාවේ ජයග්‍රහණය සටහන්ව තිබුණේ ගෝල 77-31ක් වශයෙනි. එය දැවැන්ත පරාජයක් ලෙස සැලකිය හැකිය. ෆීජි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්හි 17 වැනි ස්ථානයේ පසුවන කණ්ඩායමයි.

මාතෘකා