දැනුම - පෙනුම සහ තෙරේසා මේ

 ඡායාරූපය:

දැනුම - පෙනුම සහ තෙරේසා මේ

 

ලෝක කුසලානය දිනාගත් එංගලන්ත වීරයන් එරට දේශපාලන අධිකාරියේ ප්‍රධානියා විසින් පසුගියදා අගයනු ලැබූයේය. ඒ එරට ලන්ඩන් නුවර සුප්‍රකට ඩවුනිං වීථියේ අංක 10 ස්ථානයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට පැවැති අතිශය සරල උත්සවයකින් අනතුරුව එම ක්‍රිකට් වීරයෝ අග්‍රාමාත්‍ය නිවස තුළට කැඳවාගෙන ගොස් පැවැත්වූ සාදයකිනි. ඒ උත්සවය පැවැත්වුණේ පසුගිය 15 වැනිදාය.

එදා එංගලන්ත කණ්ඩායම පිළිගන්නට ඩවුනිං වීථියේ අංක දහය නිවස ඉදිරිපිට රතු පලස් අතුරා සරසා තිබුණේ නැත. වර්ණවත් තොරණ ගසා, මල් කළඹ තබා දහස් ගණනක් ජනයා රැස්කරවා උත්සවය සංවිධානය කර තිබුණේද නැත. අගමැතිවරිය හා ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම සේයාරුවකට නඟාගන්නැයි සැලසුම්කළ ඡයාරූප ශිල්පීන් හෝ වීඩියෝ තාක්ෂණ ශිල්පීහුද එහි දක්නට ලැබුණේ අඩුවෙනි. එහෙත් අගමැති තෙරේසා, එංගලන්ත අගමැතිවරිය වශයෙන් ගෞරවාන්විතව ලෝක ශූරතාව දිනාගත් තම රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම මුණගැසුණාය.

ඈ එහිදී ඔවුන් හා සුහදව සාකච්ඡාවක් කළාය. එංගලන්ත ක්‍රීඩකයන්ට ඇතෙක් බරට තෑගි දෙන්නට එදින ඇය ඉදිරියට ආවේ නැත. (කණ්ඩායමට අවශ්‍ය නම්බු නාම ලෙස නයිට් නාම වැනි ගෞරව නාම රැජිණ විසින් ඉදිරියේදී ප්‍රදානය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ) ඇය එංගලන්ත සංස්කෘතියට අනුකූලව ෂැම්පේන් වීදුරුවක් තොලගාමින් ඔවුන් හා සතුටු වූවාය. එම හමුව ඡායාරූපයන්ට නැගෙද්දී ඈ අතිශය මනස්කාන්ත ගැහැනියක් නොව මැදිවිය ඉක්මවූ, මුහුණ රැළි නැගී ජීවිතයේ වියපත් භාවය අත්විඳිමින් ඇති ගැහැනියක් පමණක් බව පැහැදිලිව ප්‍රකට විය. එය එසේ ප්‍රකට වන්නේ වුවද ඈ ඉන් සැලුණේ නැත. ඇඳුම් පිට ඇඳුම් හැඳ ස්වකීය පෞරුෂය පෙන්වන්නට කියා සැදී පැහැදී එතැනට පැමිණ තිබුණේද නැත. ඈ ප්‍රකෘතිය පිළිගත්තාය.

තෙරේසා මේ, නම්වූ ගැහැනිය නොව බ්‍රිතාන්‍ය අගමැතිනිය වශයෙන් තමන් මෙලෙස ලෝක ශූර එංගලන්ත කණ්ඩායම හමුවන බව ඈ දැන සිටියාය. එම සමීකරණයේ ගැඹුර එංගලන්ත කණ්ඩායමද නිසැකව දැන සිටිබව සහතිකය. ඔවුන් සිටියේ රැජිනක් මුණගැසීමට ගිය කණ්ඩායමක් ලෙස සීරුවෙන්, බය පක්ෂපාතව නොවේ. තමන්ගේ සූරවීරකම් අගයන බ්‍රිතාන්‍ය රජයේ වත්මන් භාරකාර ආණ්ඩුවේ නියමුවරිය ඈ බව ඔවුහු අවබෝධකරගෙන සිටියහ.

ඇඩිල් රෂීඩ්, මොයීන් අලී වැනි මුසල්මානු සම්භවයක් සහිත ක්‍රීඩකයින් එම අවස්ථාවට සහභාගිවී සිටියේද එංගලන්තයේ සාමාන්‍ය සුදු ජාතිකයන් ලෙසින්මය. තමන් එංගලන්ත භූමියේදී සුළු ජාතිකයන්ය යන්න ඔවුනට වගේ වගක්වත් තිබුණේ නැත. එසේ සුළු ජාතිය, මහ ජාතිය යැයි ප්‍රසිද්ධියේ වර්ගකිරීමක් එංගලන්ත සමාජය තුළ දක්නට නොවීම ඊට හේතුව වන්නට ඇත.

මෙම අගමැති ඇගයුමෙන් ලෝකයට කියන තවත් අපූරු පණිවුඩයක් ඇත්තේය. ඒ අගමැතිගේ පෙනුමට වඩා එරට පුරවැසියනට වැදගත් වන්නේ ඇගේ දේශපාලන පරිණතභාවය ය. කවුරු කෙසේ තර්ක ඉදිරිපත් කළද ඇසුරුමෙන් රස සොයන, අන්තර්ගතයට වඩා සුන්දර ඇසුරුම්ම මිලදී ගන්නට පොර බඳන තුන්වැනි ලෝකයේ බොහෝ පුරවැසියනට වඩා එංගලන්තය ඇතුළු යුරෝපා ජාතීන් ඉදිරියෙන්යැයි පිළිගත යුතුව ඇත්තේ මෙවැනි පසුබිමකය. බ්‍රිතාන්‍ය රජයේ තාවකාලික බාරකරුවා වන කොන්සර්වේටිව් පක්ෂයෙන් ලබාගතයුතු විශේෂ යමක් එංගලන්ත පුරවැසියන්ට නැති බව එංගලන්ත ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීමෙන් අවබෝධ කරගන්නටද පිළිවන. ඒ ඔවුනට හිමිවිය යුතු ජීවන තත්ත්වය බ්‍රිතාන්‍ය රජය පැහැදිලිව සැලසුම් සකස්කර ඇති හෙයිනි. ආණ්ඩුවට ඇත්තේ එය වැඩිදියුණු කිරීම පමණි. එය මෙම සාදය මගින් අපට උගන්වන ප්‍රධානතම පාඩම බවද පැවසිය හැකිය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

 

මාතෘකා