සිංගප්පූරුව පහසුවෙන් පැරදවූ ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බව යළි තහවුරු කරයි

 ඡායාරූපය:

සිංගප්පූරුව පහසුවෙන් පැරදවූ ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බව යළි තහවුරු කරයි

 

කණ්ඩායමක් වශයෙන් ලෝක තලයේ දුර්වලතා පෙන්වුවද තවමත් ආසියාව තුළ අපරාජිත ශූරියන් තම කණ්ඩායම බව ප්‍රදර්ශනය කළ ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය යටතේ සිංගප්පූරුව සමඟ පැවැති තරගයෙන් ලකුණු 88-50ක් ලෙසින් ශ්‍රී ලංකා පිල ජයගත්තේය. පෙරේදා ලිවර්පූල් හි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු කාර්තුවේ සිට ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම ලකුණු රැස්කිරීමට සමත්වූයේ තෙවැනි කාර්තුවේදීය. සිව්වැනි කාර්තුවේදී තරමක් වෙහෙසකින් පීඩා විඳින බවක් ප්‍රදර්ශනය කළ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් වාර්තාවුණේ ලකුණු 17ක් පමණි.

තරගයේ පළමු කාර්තුව 21-11ක් ලෙසින් පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි කාර්තුව අවසන් කළේ 24-11ක් වශයෙනි. තෙවැනි කාර්තුව 26-14ක් ලෙසින් අවසන් කළ අතර සිව්වැනි කාර්තුවේදී ලකුණු තත්ත්වය සටහන් වුණේ 17-14ක් ලෙසය. මෙම තරගයේදී ශ්‍රී ලංකාව සතු දෙවැනි උසම ක්‍රීඩිකාව වන එලියන්තිනී සේතුකාවලර් ගෝල විදින්නිය වශයෙන් සහභාගි කරවාගත් අතර ඇය තමන්ට ලැබුණු අවස්ථා 7න් හයක් සාර්ථක කරගනිමින් දක්ෂතා දැක්වීය. කෙසේ නමුත් තර්ජනී ශිවලිංගම්ගේ සේවය සිංගප්පූරුව හා තරගය සඳහාත් යොදාගැනීමට ශ්‍රී ලංකා පුහුණුකාරිණිය කටයුතු කර තිබුණේ ආසියානු ශූරියන් වශයෙන් තමන් ලබාතිබෙන ගෞරවය අනාරක්ෂිත කරගැනීමට අකැමැති භාවය හේතුවෙනි. ඒ අනුව ඇය ලකුණු 76ක් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් එක්කිරීමට සමත් වූවාය.

ගෝල බවට පත්කිරීම සඳහා අවස්ථා 92ක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර ඉන් අවස්ථා 88ක් සාර්ථකව ගෝල බවට ප්‍රවර්ථනය කිරීමට ඔවුහු සමත්වූහ. මේ අතර වාරය තුළ දුලංගා අඹේගොඩ සහ හසිතා මෙන්ඩිස් ගෝල තුන බැගින් වාර්තා කළහ.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සැමෝවා පිල හමුවීමට නියමිත අතර අද ෆීජි කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.

මාතෘකා