අයි.සී.සී. ශ්‍රේණි සටහනේ විලියම්සන් පියවර දෙකක් ඉදිරියට මුල් පිතිකරුවන් දහය රටවල් පහකින්

 ඡායාරූපය:

අයි.සී.සී. ශ්‍රේණි සටහනේ විලියම්සන් පියවර දෙකක් ඉදිරියට මුල් පිතිකරුවන් දහය රටවල් පහකින්

 

අයි.සී.සී. එක්දින ලෝක ශූරතා තරගාවලිය අවසන්වීමත් සමඟ අලුත්කර ඇති ක්‍රීඩක වර්ගීකරණ සටහනේ පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් සිය ක්‍රිකට් ජීවිතයේ ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත්ව තිබේ. ඔහු එක්දින පිතිකරුවන් අතර ශ්‍රේණි සටහනට අනුව ප්‍රසාද ලකුණු 796ක් මේ වනවිට හිමිකරගෙන ඇත.

එම ශ්‍රේණි සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන විරාට් කෝලි සහ රෝහිත් ෂර්මාට හිමිව ඇත්තේ පිළිවෙලින් ප්‍රසාද ලකුණු 886ක් හා 881ක් හිමිකරගනිමිනි. බාබර් අසාම් ලකුණු 827ක් ලබමින් එහි තෙවැනි තැනට ශ්‍රේණිගත වද්දී ෆැෆ් ඩු ප්ලෙසිස් සිව්වැනි ස්ථානයටත් රොස් ටේලර් පස්වැනි ස්ථානයටත් පත්ව ඇත. ඩේවිඩ් වෝනර්ට එහි ලැබී ඇත්තේ හත්වැනි ස්ථානයයි.

ජයග්‍රාහී ලෝක ශූරයින් වන එංගලන්ත පිලේ ජෝ රූට් පියවරක් පසුබසිමින් අටවැනියාවද්දී ක්වින්ටන් ඩි කොක් නව වැනි ස්ථානයටත් ජේසන් රෝයි පියවර තුනක් ඉදිරියට එමින් දහ වැනි තැනටත් හිමිකම් කීම විශේෂයකි. පිතිකරුවන් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තිස්පස්වැනි ස්ථානයට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව ඇත.

පන්දුයවන්නන් අතර ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා පළමු තැන දිනාගනිද්දී දෙවැනි තැන නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට්ට හිමිව තිබේ. තෙවැනි හා සිව්වැනි තැන් දිනාගත් කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) හා පැට් කමින්ස් (ඔස්ට්‍රේලියාව) පියවර දෙක බැගින් ඉදිරියට පැමිණ ඇත. පස්වැනි තැන හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර්ටය. පියවර හයක් ඉදිරියට පැමිණෙමින් එහි හයවැනියා බවට පත්වීමට ඇෆ්ගන් ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් සමත්ව ඇති අතර එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් පියවර දෙකකින් සහ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් පියවර 13කින් ඉදිරියට පැමිණෙමින් නවතම වර්ගීකරණයේ හත්වැනි සහ අටවැනි ස්ථාන හිමිකරගෙන තිබේ. නව වැනි තැන ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන්ට හිමිවද්දී දස වැනි තැනට නම්වී ඇත්තේ නවසීලන්තයේ මැට් හෙන්රිය.

ලෝක කුසලානයට සහභාගි නොවූ ශ්‍රී ලංකාවේ අකිල ධනංජය එහි 21 වැනි ස්ථානයට පත්ව ඇති අතර ලසිත් මාලිංගට හිමිව ඇත්තේ තිස්පස්වැනි ස්ථානයයි.

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුල් ස්ථාන පහ පිළිවෙලින් එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවට හිමිව ඇති අතර පාකිස්තානය හා බංග්ලාදේශයට පසුව අටවැනි ස්ථානයේ ශ්‍රේණිගතවීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටී.

මාතෘකා