ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය අද ඇරඹෙයි

 ඡායාරූපය:

ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ හා තරග බිමට

පහළොස් වැනි වරට පැවැත්වෙන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය අද එංගලන්තයේ ලිවර්පූල්හිදී ආරම්භ වෙයි. තරගාවලිය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමටද නියමිතය. රටවල් 16ක සහභාගිත්වය ඇතිව ආරම්භවන මෙම තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ කාණ්ඩ හතරක් යටතේය.

මූලික වටය යටතේ පැවැත්වෙන තරග සඳහා සහභාගිවන කණ්ඩායම් අතරින් ඒ ඒ කාණ්ඩයේ මුල් ස්ථාන දිනාගන්නා කණ්ඩායම් තුන අවසන් පූර්ව තරග වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියට සහභාගිවීමට සුදුසුකම් ලබයි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තරග වදින්නේ ‘ඒ‘ කාණ්ඩය යටතේය. ඔවුන් හා එම කාණ්ඩයේ තරග වදින සෙසු රාජ්‍යයන් වනුයේ ඔස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්ය.

‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නවසීලන්තය, මලාවි, බාර්බඩෝස් සහ සිංගප්පූරුව සුදුසුකම් ලබා ඇත. ‘සී’ කාණ්ඩය යටතේ තරග වදින්නේ ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, ට්‍රිනිඩෑඩ් ටොබෑගෝ සහ ෆීජී දුපත් කණ්ඩායම්ය. ‘ඩී’ කාණ්ඩයට එංගලන්තය, උගන්ඩාව, ස්කොට්ලන්තය සහ සැමෝවා රාජ්‍යයන් අයත්වේ.

මූලික වටයේ තරගවලදී ‘ඒ’ සහ ‘බී ’කාණ්ඩයේ මුල් ස්ථාන තුන දිනාගන්නා කණ්ඩායම් හය ‘එෆ්’ කාණ්ඩයට සුදුසුකම් ලබනු ඇත. ‘සී’ සහ ‘ඩී’ කාණ්ඩයන්හි මුල් ස්ථාන තුනට තේරී පත්වන කණ්ඩායම් ‘ජී ’කාණ්ඩයට නම්කිරීමේ මෙවර තරගාවලියේ තරග සටහනට ඇතුළත්වේ. ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයන්ගේ අවසන් ස්ථාන දිනාගන්නා කණ්ඩායම් ‘ඊ’ කාණ්ඩයට නම් කරනු ඇත.

‘එෆ්’ සහ ‘ජී’ කාණ්ඩයේ මුල් ස්ථාන දෙකට පත්වන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවන ආකාරයට තරගාවලිය ක්‍රියාත්මක වේ. ඒ අනුව ඒ ඒ කාණ්ඩයේ මුල් ස්ථාන දිනාගන්නා කණ්ඩායම හා අනෙක් කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගත් කණ්ඩායම සමඟ අවසන් පූර්ව තරගය පැවැත්වෙයි. ඉන් පරාජය වන කණ්ඩායම් දෙක එකිනෙකා හමුවන්නේ තෙවැනි ස්ථානය තීරණය කිරීම පිණිසය. ‘එෆ්’ සහ ‘ජී’ කාණ්ඩ තරග ජයගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට තරග වදිනුයේ 21 වැනිදාය.

තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් අනුග්‍රහය හිමිව ඇති අතර සෙසු සියලු භෞතික පහසුකම් සපයා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය විසිනි. මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිටත්ව යාමට පෙර ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ලේකම් චූලානන්නද පෙරේරා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල යන මහත්වරුන් සමඟ ඡායාරූපයකට පෙනී සිටියේ මෙසේයි.

චතුරංගි ජයසූරිය (නායිකා), දීපිකා අබේකෝන්, දර්ශිකා අබේවික්‍රම, දුලංගා අඹේගොඩ, දුලංගි වන්නිතිලක, එලිඑන්තිනී සෙත්තුකේවලර්, ගයනි දිසානායක, ගයංජලී අමරවංශ, හෂිතා මෙන්ඩිස්, නෞචලී රාජපක්ෂ, තර්ජනී ශිවලිංගම්, තිළිණි වත්තෙගෙදර.

 

මූලික වටය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගිවන තරග කාලසටහන මෙසේයි

ජූලි 12 සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර

ජූලි 13 උතුරු අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර

ජූලි 14 ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා