වෙළෙඳසේවා වොලිබෝල් සැප්තැම්බරයේ

වෙළෙඳසේවා වොලිබෝල් සැප්තැම්බරයේ

වෙළෙඳසේවා වොලිබෝල් තරගාවලියේ මූලික වටයේ තරග සැප්තැම්බර් 7 සහ 8 යන දෙදින තුළ මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (09) කොළඹ ඔලිම්පික් නිවහනේදී පැවැත්විණි.

අටවැනි වරට පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා පිරිමි හා කාන්තා යන අංශ දෙනෙක්ම කණ්ඩායම් 100කට වඩා සහභාගී වේ යැයි තරග සංවිධායකයන් බලාපොරොත්තු වන අතර තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් මස 02 හා 03 යන දෙදින පුරා මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දීම පැවැත්වීමට නියමිතය.

ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ පැවැත්වීමට නියමිත තරගාවලිය සුපර් ලීග්, ශූරතා කුසලාන හා ‘‘ඒ’’ තරගාවලිය ලෙස පැවැත්වීමට සැලසුම්කර ඇත. මෙවර තරගාවලියේ දී රුපියල් මිලියනයකට අධික ත්‍යාග මුදලක් ජයග්‍රාහකයින් අතරේ බෙදා දීමට බලාපොරොත්තු වන බවද සංවිධායකයින් පැවසීය.

දක්ෂතම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට යතුරුපැදි දෙකක් ත්‍යාග වශයෙන් පිරිනැමෙන අතර සෑම කණ්ඩායමකින්ම දක්ෂතම පන්දු ඔසවන්නා, දක්ෂතම ප්‍රහාරකයා ඇතුළු විවිධ දක්ෂතා සඳහා සම්මාන පිරිනමනු ලබයි. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ වෙළඳසේවා වොලිබෝල් සංගමය විසිනි.

මාතෘකා