ලෝක කුසලාන අවසන් මහා තරගයේ පීඩනය කුමක්දැයි අපි දන්නවා

 ඡායාරූපය:

ලෝක කුසලාන අවසන් මහා තරගයේ පීඩනය කුමක්දැයි අපි දන්නවා

රොස් ටේලර්

‘අපි ටිකක් විතර බය වෙලා හිටියෙ නෑ කියලා කියනවා නම් ඒක බොරුවක්. අපි දන්නවා තරගය මොකක්ද අපේක්ෂා කරන්නෙ කියලා. පීඩනය එන්නේ ඒ සමඟයි. අපි මීට පෙර එය අත්දැකලා තිබෙනවා. ක්‍රිකට් උපන් බිමේදී අවසන් මහා තරගයක් ක්‍රීඩා කරනවා හැරුණහම ඒකට සුදුසු වෙනත් සුදුසු තැනක් ලෝකයේ ඇතැයි මම හිතන්නෙ නෑ. ඒ තරගයට එන්නේ එංගලන්තයද, ඔස්ට්‍රේලියාවද කියලා කිසි වෙනසක් නෑ. අපි කවුරු ආවත් සතුටුයි. අපි අවසන් තරගයේදී අපේ උපරිමය දක්වන්න කැමතියි’ යැයි නවසීලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවකු වන රොස් ටේලර් පවසන්නේය. ඉන්දියාව පරාජය කිරීමට ලකුණු 74කින් දායකවූ ටේලර් මාධ්‍ය අමතමින් මෙම අදහස පළකර තිබිණි.

‘පළමුවැනි දවසෙ වැස්ස නිසා තරගය නතර කරලා පහුවෙනිදා ආපහු එතැන ඉඳලා පටන් ගනිද්දී ආපහු ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා මට තේරුණේ නෑ. මම පාන්දර තුනවෙද්දී ඇහැරුණා. ඒක හරිම අරුමැසි සිද්ධියක්. ටෙස්ට් තරගයක අත්දැකීමකට සමානයි. දවසක් පුරා නොදැවී ඉඳලා පහුවෙනිදා ක්‍රීඩා කරනවා කියන්නේ තරමක් අවිවේක හැඟීමක් ඇතිකරනවා. නමුත් කේනුයි මමයි හිතුවා 240ක් කියන්නේ හොඳ ලකුණු ගණනක් බව. මම හිතන්නේ නෑ හුඟාක් ප්‍රේක්ෂකයෝ අපව විශ්වාස කළා කියලා? ඇත්තටම ඒක මන්දගාමී තණතීරුවක්. කවුරුවුණත් පළමුවෙන් පන්දුවට පහර දෙනවා නම් වඩා හොඳයි. එතැනදී වැස්ස ඇදහැලුණා. මුල් කඩුලු තුන දවාගත්තාට පසු ජඩේජා සහා දෝනි අපෙන් තරගය උදුරගන්න උත්සහ කළා. එතැනදී නීෂම් රැකගත්ත උඩපන්දුව, ගප්ටිල් ලබාගත්තු දුවද්දි දැවීයාම ඇත්තටම විශිෂ්ටයි. මේ අවස්ථා වසර කීපයක් ගියත් කිසිවකුටත් අමතක නොවේවි’ රොස් ටේලර් පවසයි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේදී ක්‍රිස් ගේල් මෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවක් ගැන ප්‍රකාශ කර තිබූ ටේලර් දැන් පවසන්නේ, ‘එය මගේ අපේක්ෂාවක් වුණාට දැන් ලෝර්ඩ්ස් තරගය මගේ අවසන් තරගය වන්නට ඉඩ තිබෙනවා’ ලෙසය.

මාතෘකා