ශ්‍රී ලංකා -ඔස්ට්‍රේලියා සභාපතිගේ පිල අතර තුන්දින පුහුණු තරගය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා -ඔස්ට්‍රේලියා සභාපතිගේ පිල අතර තුන්දින පුහුණු තරගය

තරගයේ වැඩි ගෞරව සත්කාරකයින්ට

ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉදිරියේ පැටර්සන් දණ නොනමයි

ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා පිල තමන් සහභාගිවූ තුන්දින පුහුණු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්විය. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 365ක ඉලක්කයක් හඹාගිය සංචාරක කණ්ඩායම තෙවැනි දිනය අවසන්ව තරගය නිමවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 131 රැස්කර සිටියේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මෙම පුහුණු තරගයේදී වැඩිවශයෙන් දක්ෂතා අතරට පැමිණීමට සමත්වුණේ ළහිරු තිරිමාන්න පමණි. සෙසු පිතිකරුවන් අතරින් දිමුත් කරුණාරත්න පළමු ඉනිමේදී ලකුණු 44 ක් රැස්කළේය. සමස්ත තරගයේදී පිත්තෙන් සහ පන්දුවෙන් වැඩිදක්ෂතා දැක්වූයේ ඔස්ට්‍රේලියානු සභාපතිගේ කණ්ඩායම විසිනි.

ඒ අනුව තරගයේ ඉනිම දෙකේදීම ශතක තුනක් රැස්කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්වූහ. ඔස්ට්‍රේලියානු සභාපතිගේ පිල වෙනුවෙන් පළමු ඉනිමේ කර්ටිස් පැටර්සන් සහ ජේක් ඩොරාන් ශතක රැස් කළහ. දෙවැනි ඉනිමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කර්ටිස් පැටර්සන් යළි වේගවත් ශතකයක් රැස්කළේ නොදැවී සිටිමිනි. ප්‍රථම ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවනු ඇතැයි විශ්වාස කරන විල් පුචොවොස්කි පළමු ඉනිමේ ලකුණු 23 ක් රැස්කළ අතර දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 33 ක් රැස්කළේය. මේ අතර ශ්‍රී ලංකා පිල පාර්ශ්වයෙන් එකදු අර්ධ ශතකයක් හෝ වාර්තා නොවුණු අතර දෙවැනි ඉනිමේදී කණ්ඩායම වෙනුවෙන් ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 46 ක් රැස්කළ අතර රොෂේන් සිල්වා ලකුණු 23 ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් වුණේය. මේ අතර වාරය තුළ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සිව්දෙනෙකු දවාගත් ජෝන් හොලන්ඩ් යම් අභියෝගයක් එල්ල කිරීමට සමත්විය. ඔහු ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට පන්දුයවන්නකු ලෙස කැඳවා නොමැතිවීමද විශේෂත්වයකි.

ලකුණු සාරාංශය

ඔස්ට්‍රේලියානු සභාපතිගේ පිල පළමු ඉනිම 316/5 (ඉනිම අත්හිටවූවා)

(කර්ටිස් පැටර්සන් (නොදැවී)157,ජේක් ඩොරාන් (නොදැවී)102, දුෂ්මන්ත් චමීර 3/57, කසුන් රාජිත 2/71)

ශ්‍රී ලංකා පළමු ඉනිම 176/5

(දිමුත් කරුණාරත්න 44, රොෂේන් සිල්වා (නොදැවී) 36, ළහිරු තිරිමාන්න 32, දිනේෂ් චන්දිමාල් 32, ස්කොට් බොලන්ඩ් 2/37,මානුස් ලැබුස්චානේ 2/27)

ඔස්ට්‍රේලියා සභාපතිගේ පිල දෙවැනි ඉනිම 224/3

(කර්ටිස් පැටර්සන් (නොදැවී) 102, කසුන් රාජිත 1/9, දුෂ්මන්ත් චමීර 1/28, ළහිරු කුමාර 1/47)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 131/6

(ළහිරු තිරිමාන්න (නොදැවී) 46, රොෂේන් සිල්වා (පිටියෙන් ඉවත්වුණා) 23, ජෝන් හොලන්ඩ් 4/28, මිචෙල් නීසර් 2/8)

 

මාතෘකා