ඩකා මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාව

 ඡායාරූපය:

ඩකා මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාව

අල් අටියා සහ ටොබි ප්‍රයිස්ට

මෙම වසරේ ඩකාර් රැළියේ මෝටර් රථ අංශයේ ශූරතාව කටාර් රජ්‍යයේ නසාර් අල් අටියා විසිනුත් යතුරු පැදි අංශයේ ශූරතාව ඔස්ට්‍රේලියාවේ ටොබි ප්‍රයිස් විසිනුත් හිමිකර ගෙන තිබේ.

අල් අටියා මෙයට පෙර 2011 සහ 2015 වසරවලදීද ඩකා රැළියේ මෝටර් රථ අංශයේ ශූරතාවෙ දිනා ගැනීමට සමත් වූ අතර ටොබි ප්‍රයිස් 2016 වරේ ද මෙහි යතුරු පැදි ශූරතාවට හිමිකම් කියා ඇත.

---------------------

නුවන් ප්‍රදීප් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පාදයේ මාංශ පේශි ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව තිබේ. පළමු පුහුණු තරගය අතරතුර මෙම ආබාධය මතුව තිබිණි.

ඔහුගේ වම් පාදයේ මාංශ පේශිය ආශ්‍රිතව පළමු වර්ගයේ තෙරපුමක් ඇතිවීම හේතුවෙන් මෙම ආබාධිත තත්ත්වයක් මතුවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර තණතීරුවක පළමු ටෙස්ට් තරගය පවත්වනු ඇතැයි විශ්වාස කරන අතර එම තරගයට නුවන් ප්‍රදීප්ට ක්‍රීඩා කිරීමට නොහැකිවීම ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් බලපෑමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුත් සුරංග ලක්මාල් ඇතුළු සෙසු වේග පන්දුයවන්නන් සුව තත්ත්වයෙන් පසුවන හෙයින් ශ්‍රී ලංකා කළමනාකාරිත්වයට යම් අස්වැසිල්ලක් හිමිව ඇත. සුරංග ලක්මාල්ට පසු කණ්ඩායමේ වඩාත් පළපුරුදු වේග පන්දුයවන්නා වන නුවන් ප්‍රදීප් නවසීලන්ත සංචාරයේදී පන්දු නොයැවුවද මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාව හිමිකරගෙන සිටි බව නොරහසකි.

මේ අතර කුසල් මෙන්ඩිස් මුහුණදුන් අනතුර හේතුවෙන් හටගත් ආබාධය එතරම් දරුණු නොවන බැවින් ඔහුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇතැයිද කණ්ඩායම් කළමනාකාරිත්වය ප්‍රකාශකර තිබේ.

--------------------

‍ෙහ්සල්වුඩ්ගේ තැන රිචඩ්සන්ට

පිට කොන්දේ පශ්චිම භාගයේ සුළු වශයෙන් අස්ථි ඉරිතැලීමක් හේතුවෙන් ජොෂ් හේසල්වුඩ් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සම්පූර්ණයෙන්ම විවේක ගන්වන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

ඔහුගෙන් පුරප්පාඩුවන වේග පන්දු බල ඇණියේ ස්ථානය බටහිර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජයි රිචඩ්සන්ට පවරනු ලැබ තිබේ. කෙසේ නමුත් හේසල්වුඩ්ගේ සේවය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔස්ට්‍රේලියානු පිලට ලබාගැනීමට හැකිවනු ඇතැයි එරට භෞතචිකිත්සක ඩේවිඩ් බේක්ලි ප්‍රකාශ කර ඇත. ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහාද හේසල්වුඩ් විවේක ගැන්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණේය. පසුගිය වසරේ මැයි මාසයේදී ද මේ ආකාරයෙන් අස්ථි සම්බන්ධ රෝගාබාධයකට ඔහු මුහුණදී තිබිණි. 2010 වසරේදී ඔහු කොඳුඇටපෙළ ආශ්‍රිත ආබාධයකට ලක්වූ අතර ටෙස්ට් තරග 27 කට ක්‍රීඩාකර ඇති හේසල්වුඩ් එහිදී කඩුලු 164 ක් දවාගෙන ඇති අතර 28 වියැතිය. මේ අනුව ජොෂ් හේසල්වුඩ් පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා යොමුකිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙම මස 24 වැනිදා ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මාතෘකා