ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය : බහරේනය ඉන්දියාව පරදවයි

 ඡායාරූපය:

ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය : බහරේනය ඉන්දියාව පරදවයි

එමීර් රාජ්‍යය සහ තායිලන්තය 16 දෙනාගේ වටයට

පෙරේදා (14) අල් සාජා ක්‍රීඩාංගණයේ බහරේනය සමග පැවැති තරගයෙන් ගෝල 1-0ක් ලෙස පරාජයවූ ඉන්දියාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

ඉතාමත්ම තියුණු තරගයක්වූ මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් තරගයක් විය. ඒ නිසාම තරගයේ නියමිත කාලය තුළදී ගෝල වාර්තා කිරීමට දෙපිලම අපොහොසත් වූ අතර ජයග්‍රාහී ගෝලය රැස් කළේ තරගයේ අපතේ ගිය කාලය වෙනුවෙන් අතිරේකව ලබා දුන් කාලයේදීය. එම කාලයේදී බහරේනයේ ජමාල් රෂීඩ් තම පිලට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

ඒ සමගම ඉන්දියාව ඔවුන් සහභාගී වූ ඒ කාණ්ඩයෙන් අවසන් ස්ථානය ලබාගත් අතර ඔවුන් සහභාගී වූ තරග 3න් 2ක්ම පරාජය විය. ඔවුන් ජයගත්තේ තායිලන්තය සමග තරගය පමණි.

ඒ සමගම අබුඩාබි හි සෙයිඩ් ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේ පැවැති ඒ කාණ්ඩයේ අනෙක් තරගය ගෝල 1-1ක් ලෙස ජය පැරදුමකින් තොරව අවසන්වීම නිසා එම කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානය දිනා ගනිමින් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ තායිලන්තය සමත් වූහ.

මාතෘකා

ජනප්‍රිය ලිපි