ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය කැපේ

ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය කැපේ

පසුගිය වසරට සාපේක්ෂව හරීන්ට රුපියල් මිලියන 800ක් හිඟවන ලකුණු

ක්‍රීඩා අමාත්‍යංශයේ නව වසරේ වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 800-900 ත් අතර මුදලක් කපාහැරෙනු ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමේදී ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ලබාදෙන මුදල් මෙලෙස අඩුකිරීමට මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත. ක්‍රීඩා අමාත්‍යංශ වැයබර වශයෙන් ඉදිරිපත් කළ මුදල් සලකා බැලීමෙන් අනතුරුව අදාළ මූල්‍ය කප්පාදුව සිදුකර ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව ඉදිරි වසර තුළ ක්‍රීඩා අමාත්‍යංශය මගින් ක්‍රීඩා සංගම්වෙත ලබාදෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදන සීමා කිරීමට ද දැනටමත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එහිදී ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරගනිමින් ක්‍රීඩා සංගම්වලට මූල්‍යාධාර ලබාදීමේදී කටයුතු ආකාරය සම්බන්ධයෙන් තීරණය ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද සඳහන්ය. විශේෂයෙන් විදේශීය තරග සංචාර වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත් සහ සෙසු සහයෝගයන් දැක්වීමේදී ක්‍රීඩා අමාත්‍යංශ වැය බර දැරීමේදී මෙම ප්‍රමුඛතා ලැයිස්තුව අනුව කටයුතු කළයුතු බවට යෝජනාවී ඇත. එහිදී ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කරගත හැකි සහ ජයග්‍රහණය වෙනුවෙන් අත්දැකීම් ලබාගත හැකි ක්‍රීඩාවන් වෙනුවෙන් ප්‍රමුඛතාව සැපයීමට යෝජිතය.

මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ලේකම් චූලානන්ද පෙරේරා, අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල යන මහත්වරුන් අතර ඉදිරි සතිය තුළ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමටද යෝජනාවී තිබේ. දැනටමත් ක්‍රීඩා ඉසව් කීපයක විදේශ පුහුණුකරුවන් සැපයීමට ක්‍රීඩා අමාත්‍යංශය එකඟවී ඇති අතර ඒ වෙනුවෙන්ද අතිරේක වැයබරක් දැරීමට සිදුව ඇති හෙයින් බොහෝ වියදම් කපා හැරීමට සිදුවනු ඇතිබවට විශ්වාස කෙරේ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා