නවසීලන්තයට ලකුණු 45ක ජයක්

 ඡායාරූපය:

නවසීලන්තයට ලකුණු 45ක ජයක්

කුසල් පෙරේරාගේ සුපිරි සටන අපතේ යයි

නීෂම් ලෝක වාර්තා අතරට

තිසර පෙරේරා විසින් ඊයේ යැවූ 49 වැනි පන්දු වාරයේදී ලකුණු 34ක් ලබා ගත් ජිමී නීෂම් එක්දින තරගයක එක් පන්දුවාරයකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය ලබා ගත්තේය. ඒබී ඩි විලියර්ස් සමග සමතැන් ගැනීමට සමත් විය. එහිදී පන්දු 6 ට නීෂම්ගේ ලකුණු ලබා ගැනීම සටහන් වූයේ 6 6 6 6 2(නිපන්දුවක්) 6 1 වශයෙනි.

ඊයේ මෙලෙස ප්‍රහාරයට ලක්වූ තිසර පෙරේරා එක්දින තරගයකදී පන්දුවාරයදී වැඩිම ලකුණු ලබාදුන් තෙවැනි පන්දුයවන්නාය. 2013 වසරේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවේ නීල් රොබින් පීටර්සන්ගේ පන්දුවාරයකට හයේ පහර 5ක් සහිතව ලකුණු 35ක් රැස්කිරීමට තිසර පෙරේරා සමත් විය.

පන්දුවාරයකට වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස්ය. ඔහු නෙදර්ලන්තයේ ඩෑන් වැන් බුන්යේ ගේ පන්දුවාරයකට හයේ පහර 6ක් එල්ල කරමින් එම වාර්තාව පිහිටුවා තිබේ.

--------------------

ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ප්‍රබල පරිශ්‍රමයක් දරමින් ශතකයක් වාර්තා කළ කුසල් පෙරේරාගේ උත්සාහය ව්‍යර්ථ කළ නවසීලන්ත ක්‍රීඩකයෝ මවුන්ට් මවුන්ගනියු බේ ඕවල් ක්‍රීඩාංගණයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලබා දුන් ලකුණු 372ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී දැවී ලකුණු 326 ක් රැස් කළේය.

ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අතර සාර්ථක ලකුණු 119 ක සබඳාවයක් වාර්තා වූයේ පන්දුවාර 18 ක් තුළය. දික්වැල්ල පන්දු පන්දු 50 කින් ලකුණු 76 ක් ලබා ගත්තේ හතරේ පහර 8 ක් සහ හයේ පහර 3ක් සිය ඉනිමට අන්තර්ගත කරමිනි. එහෙත් එම ඉනිම පරිසමාප්ත ඉනිමක් බවට පත්කිරීමට ඔහුට හැකියාව උදානොවීම ශ්‍රී ලංකා පිලේ පරාජය තිරසර කළේයැයි කිව හැකිය. තරමක් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක තමන් රැස්කළ ලකුණු 43 සඳහා පන්දු 62 ක් වැයකර තිබිණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් පෙරේරා ලකුණු 102ක් රැස් කළේ පන්දු 86කිනි. තම ශතකය සඳහා හතරේ පහර 13 ක් සහ එක් හයේ පහරක් ඔහු එල්ලකර තිබිණි.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කෙන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එය නිවැරදි බව සනාථ කළ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 139 කින් ලකුණු 138 ක් රැස් කිරීමට සමත් විය. ඒ සඳහා හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් එල්ල කරනු ලැබුණේය. තරගයේ පස්වැනි පන්දුවාරයේදී නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කොලින් මුන්රෝ ලකුණු 13 කට දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වීමෙන් පසු ගප්ටිල් සමග එක්වූ නායක විලියම්සන් පන්දු 160 කින් ලකුණු 163 ක සබඳතාවයක් ගොඩනගමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළේය. නවසීලන්ත නායකයා පන්දු 74 කින් ලකුණු 76 ක් රැස් කළේ හතරේ පහර 6 ක් සමගිනි. විලියම්සන් දැවී ගියේ නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි. ඉන් අනතුරුව පිටයට පිවිසි රොස් ටේලර් නවසීලන්ත ලකුණු ලබා ගැනීමේ වේගය යළි ඉහළ නැංවීමට සමත් වූයේය. පන්දු 37 කට මුහුණ දුන් ටේලර් ලකුණු 54 ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ එ් සඳහා හයේ පහර 2ක් එක්කරමිනි.

බේ ඔවල් ක්‍රීඩාංගණයට රැස්ව සිටි නරඹන්නන් අමන්දානන්දයට පත් කරමින් නවසීලන්ත ඉනිමේ 49 වැනි පන්දුවාරය යැවූ තිසර පෙරේරාගෙන් ලකුණු 34ක් උදුරා ගැනීමට ජිමී නීෂම් සමත් විය. ඒ සමගම එක්දින තරගයක එක් පන්දුවාරයකදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ඒබී ඩි විලියර්ස් සමග සමතැන් ගැනීමට නීෂම්ට හැකිවිණි. තිසරගේ පන්දුවාර 10ට ලකුණු 80ක් ලබා ගත් නවසීලන්ත පිතිකරුවෝ ලසිත් මාලිංගගේ ලකුණු 78ක් උදුරා ගැනීමට සමත් වූහ.

 

මාතෘකා