ධෛර්යය ගැන කියැවෙන මෙවර ඔස්ට්‍රේලියාවට අමිහිරි සිහිනයක් වූ බොක්සිං දින ටෙස්ට් තරගය

 ඡායාරූපය:

ධෛර්යය ගැන කියැවෙන මෙවර ඔස්ට්‍රේලියාවට අමිහිරි සිහිනයක් වූ බොක්සිං දින ටෙස්ට් තරගය

තරගවල වැඩි වාසිය ඔස්ට්‍රේලියාවට

බොක්සිං දිනය දෙසැම්බර් 26 වැනිදාය. එලෙස හැඳින්වෙන්නේ නත්තල් දිනයට පසු දිනයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට යටත්ව පැවැති වර්තමානයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් විසින් එදින නිවාඩු දිනයක් ලෙස සමරනු ලැබේ.

බොක්සිං දිනයේ පවත්වනු ලබන ටෙස්ට් තරගය ලෙස සාම්ප්‍රදායිකව සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දෙසැම්බර් 26 වැනිදා සිට 30 වැනිදා දක්වා පවත්වන තරගයයි.

මෙවර බොක්සිං දිනයේදී ලොව පුරා රාජ්‍යයන් තුනකදීම ටෙස්ට් තරග තුනක් පැවැත්විණි. පළමු තරගය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරය. දෙවැන්න දකුණු අප්‍රිකාවේදී, දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය අතරත් තෙවැන්න ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නවසීලන්තයේදීත් පැවැත්වුණේය.

බොක්සිං දිනයේ පවත්වනු ලබන ටෙස්ට් තරගයන්ට ලොව පුරා නිර්මාණයවී ඇති ඉහළ ජනප්‍රිතාව මෙවැනි තරගාවලියක් පැවැත්වීමට හේතුවී තිබේ. ඒ අනුව මෙයට පෙර ඔස්ට්‍රේලියාවට පමණක් සීමාව තිබූ බොක්සිං දින ටෙස්ට් තරග ලොව පුරා බොහෝ රටවල් තරග පවත්වන කාලයක් බවට පත්කරගෙන ඇත. මෙවර බොක්සිං දිනයේ පැවති ටෙස්ට් තරගයෙන් ජය ගත්තේ අසල්වැසි ඉන්දියාවය. එම තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 137ක් ජයක් ලැබීමත් සමගම ආසියානු රටක් බොක්සිං දිනයේදී ටෙස්ට් ජයක් ලැබූ පළමු අවස්ථාව ලෙස ඉන්දියාව වාර්තා පොත් අතරට එක්කරනු ලැබුවේය.

බොක්සිං තරග ඉතිහාසය

බොක්සිං දිනයට අදාලව පැවැති පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරය. 1950 දෙසැම්බර් 22 වැනිදා සිට 27 වැනිදා දක්වා එම තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඉන් ඔස්ට්‍රේලියාවට ලකුණු 28ක ජයක් හිමි විය. නැවතත් බොක්සිං දිනයේ ටෙස්ට් තරගයකට ඔස්ට්‍රේලියාවේදී මුහුණ දුන්නේ දකුණු අප්‍රිකාවයි. තරගය පැවැතියේ 1952 දෙසැම්බර් 24 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වුණු අතර එය දකුණු අප්‍රිකාව ජයගත්තේය. බොක්සිං ටෙස්ට් තරගයක පළමු ජය ලැබූ විදෙස් කණ්ඩායම ලෙස ඒ අනුව දකුණු අප්‍රිකාව වාර්තාගත විය. එම තරගයෙන් ඔවුන් ලකුණු 82ක ජයක් ලැබීය.

පළමු වරට බොක්සිං දිනයේදීම එනම් දෙසැම්බර් 26 වැනිදාක ටෙස්ට් තරගයක් ආරම්භ වන්නේ 1968 දීය. එවර ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්ය. එහිදී කොදෙව් කණ්ඩායමට ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, රෝයි ෆෙඩ්රික්ස්, රොහාන් කන්හායි සහ ලාන්ස් ගිබ්ස් වැනි ප්‍රබලම ක්‍රීඩකයින් ඇතුළත් වූහ. නමුත් කොදෙව්වෝ තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 30කින් පරාජය වූහ.

වරින් වර පැවැති බොක්සිං දිනයේ ටෙස්ට් තරග අඛණ්ඩව පැවැත්වීම ආරම්භ වන්නේ 1980 වසරේ සිටය. ඉන් අනතුරුව 1989 වසරේ පමණත් බොක්සිං දිනයේ තරගයක් මෙල්බර් ක්‍රීඩාංගණයේදී පවත්වා නැති අතර මේ දක්වාම සාම්ප්‍රදායිකව බොක්සිං දිනයේදී ටෙස්ට් තරගය පවත්වනු ලබයි. බොක්සිං දිනයේ ආරම්භවන ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වාසිදායක තරගයක් ලෙසද සලකනු ලබන තත්ත්වයක් මතුව තිබේ. ඒ මක්නිසාද යත් මෙතෙක් මෙම දිනයට අදාලව ටෙස්ට් තරග 43ක් පවත්වා ඇති අතර ඉන් තරග 24කම ජය ඔස්ට්‍රේලියානුවන් විසින් හිමිකරගෙන ඇති හෙයිනි. ඔවුන් පරාජය වී ඇත්තේ තරග 9ක් පමණි. තරග 10ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. ඔස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම තරග සංඛ්‍යාවක් ජය ගෙන ඇත්තේ ඔවුන්ගේ සම්ප්‍රදායික ප්‍රතිවාදියා වන එංගලන්තයයි. ඔවුන් මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැති බොක්සිං දින ටෙස්ට් තරග 4ක් ජයගෙන ඇත.

 

ධෛර්යය වැඩවූ බොක්සිං දින තරගය

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේදී බොක්සිං දින ටෙස්ට් තරග දෙකකට සහභාගීවී ඇත. පළමු වැන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූයේ 1995 වසරේදීයි. මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට හිමිවූයේ කඩුලු 10ක පරාජයකි. මෙම තරගය ඓතිහාසික තරගයක් ලෙස සටහන් වන තරගයකැයිද හැඳින්විය හැකිය. ඒ ශ්‍රී ලංකා සුපිරි පිට දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට පන්දුව දමා ගසන බව ඔස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් තීරණය කරන තරගය මෙය වන බැවිනි. කෙසේ නමුත් එකී චෝදනාවන්ට ධෛර්යය සම්පන්ව මුහුණදෙමින් රටක් වශයෙන් නැගී සිටින්නට මුරලිදරන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමත්වූයේය. එහෙයින් බොක්සිං දිනය යනු පරාජයන් ලැබූවද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අසම සම චිත්ත ධෛර්යය ප්‍රකාශ කරන දිනයක් ලෙසද සැලකිය හැකිය.

දෙවැනි වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්බර්න් හිදී බොක්සිං දිනයේ තරග වදින්නේ 2012 වරේදීය. එවර ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉනිමක සහ ලකුණු 201ක දැවැන්ත පරාජයකි. තරගය දින තුනකින් අවසන් වන අතර ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 24යි, පන්දු 2කට සීමා විය.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

 

මාතෘකා