ඩර්බන් ටෙස්ට් ජය සමඟ මතුවන ශ්‍රී ලංකා පිළේ පළමු ටෙස්ට් තරගයේ මතක

 ඡායාරූපය:

ඩර්බන් ටෙස්ට් ජය සමඟ මතුවන ශ්‍රී ලංකා පිළේ පළමු ටෙස්ට් තරගයේ මතක

පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. ඒ හරියටම ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් හිමිකර ගෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ දිනය සැමරීමට දිනකට පෙරය. ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 1982 පෙබරවාරි 17 වැනිදාය. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමගයි. තරගය දින පහක් පැවැතීමට නියමිත වුවද දින හතරකින් අවසන් විය. කොළඹ වනාතමුල්ල පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 17 වැනිදා සිට 22 වැනිදා දක්වා තරගය පැවැත්වීමට නියමිතවූ අතර 19 වැනිදා විවේක දිනය ලෙස නම්කර තිබුණි.

පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා නායකත්වය හිමිවී තිබුණේ බන්දුල වර්ණපුරහටය. දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, සිදත් වෙත්තමුණි, රන්ජන් මඩුගල්ල, මහේෂ් ගුණතිලක, අසන්ත ද මෙල්, අජිත් ද සිල්වා, ලලිත් තළුපෙරුම සහ එවකට පාසල් ක්‍රීඩකයෙක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ අර්ජුන රණතුංගද තරගය සඳහා කැඳවා තිබුණේය.

එංගලන්ත කණ්ඩායම මෙහෙයවූයේ කීත් ෆ්ලෙචර් විසිනි. ග්‍රැහැම් ගූච්, ජෙෆ් කුක්, ක්‍රිස් ටවාරේ, ඩේවිඩ් ගවර්, ඉයන් බොතම්, බොබ් ටේලර්, ජෝන් එම්බියුරි, ජෝල් ඇලට්, ඩෙරික් අන්ඩර්වුඩ් සහ බොබ් විලීස් ගෙන් එංගලන්ත කණ්ඩායම සමන්විත විය.

කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායකයා පන්දුවට පහරදීමේ අවස්ථාව උදාකර ගත්තේ හතරවැනි ඉනිම සංචාරක කණ්ඩායමට ලබාදී සිය දඟ පන්දු යවන්නන්ගෙන් උපරිම ප්‍ර යෝජන ලබා ගැනීම සඳහාය. ඒ අනුව නායක වර්ණපුර සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසි අනෙක් ආරම්භක පිතිකරුවා වූයේ සිදත් වෙත්තමුණිය.

ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ නායක වර්ණපුරය. ඔහු රැස් කළේ ලකුණු 2ක් පමණි. බොබ් විලීස්ගේ පන්දුවකට ඩේවිඩ් ගවර් අතට උඩපන්දුවක් දීමෙන් ඔහු දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 9ක්ව තිබියදීය. ඉන්පසුව පිටියට පැමිණි රෝයි ඩයස්ව ලකුණු බින්දුවක දවා ගැනීමට විලිස් සමත් විය. සිදත් වෙත්තමුණිද මුලු ලකුණු සංඛ්‍යාව 29ක්ව තිබියදී ඉයන් බොතම්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක බොබ් ටේලර් අතට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේ ලකුණු 6කටය. ඒ සඳහා පන්දු 46කට වෙත්තමුණි මුහුණදී තිබුණි. ශ්‍රී ලංකා පිල අසීරුවට පත්කරමින් සිව්වැනි කඩුල්ල ලෙස උපනායක දුලිප් මෙන්ඩිස් දැවී ගියේ මුලු ලකුණු 34ක්ව තිබියදීය.

මංගල ටෙස්ට් තරගයේදී ගරා වැටුණු ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩගත් පිතිකරුවන් වූයේ රන්ජන් මඩුගල්ල සහ 18 හැවිරිදි පාසල් ක්‍රීඩකයෙක් වූ අර්ජුන රණතුංගයි. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සබඳතාවයක් පැවැත්වීමට සමත් වූහ. ඒ අතරතුර පළමුව අර්ධ ශතකය වාර්තා කළ රණතුංග ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ පළමු අර්ධ ශතකයේ හිමිකරුවා බවට පත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 133ක්ව තිබියදී රණතුංග දැවී යන විට ලකුණු 54ක් රැස්කරගෙන සිටියේය. ඒ හතරේ පහර 7ක් සහිතවය. පළමු දිනයේ තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 183ක් රැස්කර තිබිණි.

පසුදා උදයේම දැවී ගියේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ රන්ජන් මඩුගල්ලයි. ඒ වනවිට ඔහු පන්දු 164කට මුහුණදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 65ක් රැස්කර තිබිණි. ඒ සඳහා මඩුගල්ල මිනිත්තු 246ක් කඩුල්ලේ රැඳී සිටියේය. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 218කට සීමා විය. වමතින් පාදඟ පන්දු යවන ඩෙරික් අන්ඩර්වුඩ් ලකුණු 28කට ශ්‍රී ලංකා පිතිකරුවන් පස්දෙනෙකුටම වගකියා තිබීම එම ඉනිමේ විශේෂත්වය විය. ඉයන් බොතම් කඩුලු 3ක් සහ විලීස් කඩුලු 2ක් දවාගැනීමට සමත් වූහ.

එංගලන්ත ඉනිම ආරම්භ කරන ලද්දේ ග්‍රැහැම් ගූච් සහ ජෙෆ් කුක් විසිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල පන්දුව යැවීමේ වගකීම පැවැරුණේ දකුණත් මදවේග පන්දු යවන්නා වූ අසන්ත ද මෙල් හටය. මුලු ලකුණු සංඛ්‍යාව 34ක්ව තිබියදී කුක් දවා ගැනීමට මෙල් සමත් වූයේ කළුපෙරුම රැකගත් උඩපන්දුව නිසාය. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් කඩුල්ල මෙල්ගේ නමටත් පළමු උඩපන්දුව කළුපෙරුමගේ නමටත් සටහන් විය. එංගලන්ත ලකුණු පුවරුව 40ක් වන විට පළමු කඩුලු 3ම දවා ගැනීමට මැල් සමත්ව සිටියේය.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ඩේවිඩ් ගවර්ය. ඒ ලකුණු 89කි. නායක ෆ්ලෙචර්ද ලකුණු 45ක් රැ්ස්කර ගැනීමට සමත් විය. කඩුලු රකින්නා වූ බොබ් ටේලර් නොදැවී ලකුණු 31කින් එංගලන්ත ඉනිමට දායක විය.

අසන්ත ද මෙල් ලකුණු 70කට කඩුලු 4ක් දවා ගනිමින් වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා විය. ඩී.එස්. ද සිල්වා කඩුලු 3ක් සහ අජිත් ද සිල්වා කඩුලු 2ක් දවා ගෙන තිබුණි. එංගලන්තය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 5කින් පළමු ඉනිමේ ඉදිරියෙන් සිටීයේ ලකුණු 223ක් ලබාගනිමිණි.

තුන් වැනි දිනය අවසාන වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 152ක් රැස්කරගෙන සිටීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයෙන් ජයග්‍රහණය ලබාවිද යන පැනයද බොහෝ දෙනා තුළ හටගෙන තිබුණේය.

පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය රෝයි ඩයස් අලංකාර පිතිහරඹයක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 77ක් රැක් කිරීමට සමත් වූයේ, පන්දු 128කින් හතරේ පහර 11ක් සහිතවය. නායක වර්ණපුර ලකුණු 38ක් රැස් කළේය. තෙවැනි දිනයේ සවස් භාගය වන විට ඊළඟ දිනයේද පන්දුවට පහරදීම සඳහා උත්සාහ දරමින් සිටි නායක වර්ණපුර වරින් වර සිය පාආවරණ නැවත නැවත සකස්කරමින්ද, සපත්තු ලේස් ගැටගසමින්ද තරගය ප්‍රමාද කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත විය.

එහෙත් පසුදා උදයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 23ක් එක්වන විට ඉතිරි කඩුලු 7ම දවා ගැනීමට ජොන් එම්බියුරි සහ ඩෙරික් අන්ඩර්වුඩ් සමත් වූහ. ශ්‍රී ලංකා අවසන් පිතිකරුවන් 7දෙනාගෙන් එක් අයෙක් හෝ ලකුණු 3කට වඩා රැස් කිරීමට අපොහොසත් වීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 175කට සීමා වූයේ ලකුණු 171ක පහසු ඉලක්කයක් එංගලන්තයට ලබා දෙමිනි. එම්බියුරි කඩුලු 6ක්ද අන්ඩර්වුඩ් කඩුලු 3ක්ද දවා ගැනීමට සමත්ව සිටියහ. තරගය පස්වැනි දිනය දක්වා ගෙන යාමේ අවධානය නොගැනීමට පරිස්සම්වූ එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 59කින් ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සමත් වූහ. ක්‍රිස් ටවාරේ ලකුණු 85ක් රැස් කළ අතර පළමු ඉනිමේද එංගලන්තයේ වීරයා වූ ගවර් නොදැවී ලකුණු 42ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා සිය පිල ගෙන යාමට සමත් විය.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 7කින් පරාජය ලැබීය. පරාජයෙන් පසුව බොහෝ විචාරකයින්ගේ අදහස වූයේ දින 5ක තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් නොමැති වීම මෙම පරාජයට ප්‍රධානම හේතුව බවයි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පළමු ඉනිම

(රන්ජන් මඩුගල්ල 65, අර්ජුන රණතුංග 54, මහේෂ් ගුණතිලක 22, අසන්ත ද මෙල් 19, ඩෙරික් අන්ඩර්වුඩ් 5/28, ඉයන් බොතම් 3/28, බොබ් විලීස් 2/46)

එංගලන්තය පළමු ඉනිම

(ඩේවිඩ් ගවර් 89, කීත් ෆ්ලෙචර් 45, බොබ් ටේලර් නොදැවී 31, ග්‍රැහැම් ගූච් 22, අසන්ත ද මෙල් 4/70, ඩී.එස්. ද සිල්වා 3/54, අජිත් ද සිල්වා 2/52)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

(රෝයි ඩයස් 77, බන්දුල වර්ණපුර 38, දුලිප් මෙන්ඩිස් 27, ජෝන් එම්බියුරි 6/33, ඩෙරික් අන්ඩර්වුඩ් 3/67)

එංගලන්ත දෙවැනි ඉනිම

(ක්‍රිස් ටැවාරේ 85, ඩේවිඩ් ගවර් නොදැවී 42, ග්‍රැහැම් ගූච් 31, අජිත් ද සිල්වා 2/46, අසන්ත ද මෙල් 1/33)

කුමාර]

මාතෘකා