දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අදයි

 ඡායාරූපය:

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද පෝර්ට් එලිසබෙත්හි සාන්ත ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භවේ. දෙපිලටම අතිශයින්ම තීරණාත්මක තරගයක්වන මෙම ටෙස්ට් තරගයේ ජය හෝ පරාජය මෙන්ම ජයපරාජයකින් තොරව අවසන් වීමද දෙපිලටම තීරණාත්මකය.

අද පැවැත්වෙන තරගය දකුණු අප්‍රිකාව පැත්තෙන් වැදගත් වන්නේ තරගාවලිය පරාජය නොවී සිටීමට නම් තරගයේ ජය ඔවුන්ට අත්‍යාවශ්‍යය. එවිට තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන්කර ගැනීමේ අවස්ථාව දකුණු අප්‍රිිකානුවන්ට උදාවේ. එසේම ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ඉදිරියේ ටෙස්ට් තරගාවලි පරාජයක් සිය මව්බිමේදී භුක්ති නොවිඳීමට නම් පෝර්ට් එලිසබෙත්හි පැවැත්වෙන තරගයේ ජය ඔවුන්ට අනිරවාර්යයවේ.

ශ්‍රී ලංකාව පැත්තෙන් මෙම තරගයේ වටිනාකම ඉතා ඉහළය. මේ වන විටත් පළමු ටෙස්ට් තරගය අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකාව ජයගත්තද, දැනට තරගාවලියේ ජයග්‍රාහී පාර්ශවය වී සිටින්නේ

ශ්‍රී ලංකාවයි. දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගැනීමේ ස්වර්ණමය අවස්ථාවද මෙම තරගයේදී එළැඹී තිබේ. මෙම තරගය පරාජය නොවී ජය පරාජයකින් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් එම අනගි අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට එළැඹෙනු ඇත.

මෙම තරගය ජය ගැනීම සඳහා

ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානම ශක්තියක් වන්නේ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට තවමත් නිසි අවබෝධයක් නැති ශ්‍රී ලංකා මදවේග පන්දුයවන්නන්ය. ‍ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයේදීද පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා මදවේගපන්දු යවන්නන් තිදෙනා ඇතුලත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානම සහ දිගින් දිගටම ඇති අඩුපාඩුව වන්නේ පිතිහරඹයේ ඇති අවිශ්වාසවන්ත භාවයයි. පළමු තරගයේදී කුසල් පෙරේරා ඉනිම් දෙකේදීම සාර්ථක වුවත් පසුගිය කාලයේදී අඛණ්ඩව සාර්ථකවූ ශ්‍රී ලංකා පිතිකරුවෙක් කණ්ඩායම තුල නොසිටි අතර පිතිකරුවන් කිහිප දෙනෙක් එකම ඉනිමකදී සාර්ථක නොවන බැවින්ද ඉනිමකදී වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිල වෙතින් ගිලිහී ගියේය. මෙම තරගයේදී පිතිකරුවන් කිහිපදෙනෙක් ලකුණු අතරට පැමිණියහොත් ශ්‍රී ලංකාවට වාසිදායක ආකාරයෙන් තරගාවලිය අවසන් කරගැනීමේ අවස්ථාව පවතී. ධනංජය ද සිල්වා ඩර්බන් තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු අතරට පැමිණීම ශ්‍රි ලංකාව පැත්තෙන් සුබදායක තත්ත්වයකි.

මෙම තරගයේදී කුමන වෙනස්කම් කරන්නේදැයි දෙපිලම අවිනිශ්චිත තත්වයක සිටින අතර ආබාධයකට ලක්ව සිටින දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලැන්ඩර් වෙනුවට වියාන් මුල්ඩර් තරග වදිනු ඇති අතර එසේවුවහොත් ඔහුට අද ටෙස්ට් වරම් හිමිවීමටද නියමිතය.

දකුණු අප්‍රිකානු සංචිතය

ෆැෆ් ඩු ප්ලෙසිස් (නාකෙ), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ටෙවුනිස් ඩි බ්‍රයන්, ක්වින්ටන් ඩි කොක්, ඩීන් එල්ගර්, කේෂව් මහරාජ්, ඒඩ්න් මක්රාම්, ඩුආනේ ඔලිවියර්, වර්නන් ෆිලැන්ඩර්, කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්, සුබේර් හම්සා සහ වයන් මුල්ඩර්

 

ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, කුසල් පෙරේරා, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, මිලින්ද සිරිවර්ධන, ළහිරු තිරිමාන්න සහ මොහොමඩ් ෂිරාස්

මාතෘකා