සමපෝෂ අන්තර් පාසල් පාපන්දු කුසලානය

 ඡායාරූපය:

සමපෝෂ අන්තර් පාසල් පාපන්දු කුසලානය

අවුරුදු 14 න් පහළ ශූරතා කළුතර මුස්ලිම් මැදි විදුහලට සහ පොළොන්නරුව බැඳිවැව විදුහලට

අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතා තරගාවලියේ බාලක ශූරතාව මෙවර කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය දිනාගත් අතර බාලිකා ශූරතාව හිමිවූයේ පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයටය. බාලක පාසල් 500 හා බාලිකා පාසල් 150ක ගේ සහභාගිත්වය සහිතව පසුගියදා මෙම තරගාවලිය පැවැත්විණි. දිස්ත්‍රික් මට්ටමේ තරගවලින් ජයගත් බාලක කණ්ඩායම් 33ක් සහ බාලිකා කණ්ඩායම් 25ක්, කොළඹ නගරයේ ස්ථාන හතරක පැවැති තරග සඳහා සහභාගිවූූ අතර කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර පිටියෙහිදී අවසාන වටයේ තරග පැවැත්විණි.

කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත හෙන්රීස් විද්‍යාලය අතර පැවැති බාලක අවසාන මහා තරගයේදී ගෝල 2-0 ලෙස විශිෂ්ට ජයක් ලැබීමට කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සමත්විය. එහි තෙවැනි ස්ථානය දිනාගැනීමට කින්නියා අල් අබ්දුල් මජීඩ් විදුහලට හැකිවිය. බාලක කණ්ඩායම් අතුරින් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කළුතර මුස්ලිම් මධ්‍ය මහා විදුහලේ එම්.එෆ්.එම්. ෆරහස් ක්‍රීඩකයාට හිමි වූ අතර එම විද්‍යාලයේම එම්.එන්. අහමඩ් ක්‍රීඩකයා බාලක කාණ්ඩයේ හොඳම දැල් රකින්නා ලෙස සම්මානයට හිමිකම් කීය.

බාලිකා අවසන් මහා තරගය පොල්ගහවෙල පරාක්‍රමබාහු විදුහල සහ පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලය අතර පැවැත්විණි. ඉතා තියුණු තරගයක් බවට පත්වූ මෙම තරගයේ ජයග්‍රහණය තීරණය කෙරුණේ දඬුවම් පහර මගිනි. ඒ අනුව ගෝල 10 - 9 ක් ලෙස බාලිකා ශූරතාව දිනාගැනීමට බැඳිවැව විදුහල් කණ්ඩායම සමත් විය. තුන්වන ස්ථානය ලබා ගත්තේ මලියදේව බාලිකා විදුහලයි. බාලිකා කණ්ඩායම් අතරින් දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයේ, එම්.එල්. සෙනුල්මි හිමාෂා තෝරා ගැනුණු අතර හොඳම දැල් රකින්නිය ලෙස එම විද්‍යාලයේම, ඒ.පී. එරන්දිකා හර්ෂණී ක්‍රීඩිකාව නම් කෙරිණි.

තරගාවලිය සඳහා අඛණ්ඩව දහවැනි වතාවටත් සමපෝෂ වෙළෙඳ නාමය අනුග්‍රහය දක්වා තිබුණු අතර එම නිෂ්පාදනය වෙළෙඳ පොළට හඳුන්වාදෙන සී.බී.එල්. ආයතනයේ නිලධාරීන් පිරිසක්ද ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගිවී සිටියහ.

මාතෘකා