ජනපතිත් ක්‍රිකට් පිළිබඳ නිසි තීරණයක් ගනීවි

 ඡායාරූපය:

ජනපතිත් ක්‍රිකට් පිළිබඳ නිසි තීරණයක් ගනීවි

ඇමැති අර්ජුනගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නිවැරදි තිරණ ලබාගැනීමට උත්සහ ගනු ලබන මෙම කාලයේ ජනාධිපතිවරයාද නිසි තීරණයකට එළඹෙනු ඇතැයි තම විශ්වාසය බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සව සභාවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ මේ වසර තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් බවට පත්වනු ඇති බවයි. ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී කළ ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

ජනාධිපතිවරයා පොළොන්නරුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියාසිටියේ “අර්ජුන රණතුංග මහත්තයා නායකත්වය අරගෙන ලංකාවට ලෝක ශූරතාව ගෙනාවා. අද වෙලා තියෙන්නේ මොකක්ද? ලෝක ශුරතාව ගත්ත ශ්‍රී ලංකාව, ක්‍රිකට් කේෂත්‍රයේ දූෂිතම රට බවට පත් වෙලා තිබෙනවා. තරග පරාජය කිරීම් කණ්ඩායමේම සමාජිකයින් විසින්ම කිරිම බරපතල තත්ත්වයක් වෙලා තියෙනවා...” යනුවෙනි.

එම ප්‍ර‍කාශය පිළිබද අදහස් දැක්වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,

“අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වගේ. එය විනාශ වෙන්න පටන් ගත්තේ 2015 වසරේ සිට. එයට ක්‍රීඩකයින්ට විතරක් දොස් කියලා හරියන්නේ නැහැ. එයට ක්‍රිකට් පරිපාලනයට පැමිණි නුසුදුසු පුද්ගලයනුත් වගකියන්න ඕනැ. ඒ බව මම 2015 සිටම කිව්වා. නමුත් කිසිම කෙනෙක් ඒබව ගාණකට ගත්තේ නැහැ. 2015න් පසුව හිටපු ක්‍රීඩා ඇමැතිවරු දෙදෙනාම එනම් දයාසිරි සහ ෆයිසර් යන මහහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඇමැතිවරු. ඒ දෙන්නම ක්‍රිකට් පරිපාලනයට ඒම සදහා අනවශ්‍ය පුද්ගලයින්ට අවස්ථාව දුන්නා. ඒ නුසුදුසු පුද්ගලයෝ තමයි, ඒ දූෂිත පරිපාලනය තමයි ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට ගෙන ගියේ. එයින් ඇතිවුණු විනාශය ජනාධිපතිතුමාට තේරුණු එක ගැන මම සතුටු වනවා. නමුත් අදත් ඒ පුද්ගලයෝම තමයි එතුමාගේ වේදිකාවේ ඉන්නේ. ඒ පුද්ගලයින් දැන් වේදිකාවෙන් බිමට බස්සවන්න කාලය ඇවිල්ලා තියබනවා. මම ජනාධිපතිතුමාට උපදේශයක් දෙනවා නෙමෙයි. නමුත් එවැනි දූෂිත පුද්ගලයින් තමන්ට කිට්ටු තැන්වල තිබ්බම මිනිසුන් අතර එතුමාත් පිරිහෙන්නට පුළුවන්....”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“මං දන්න ජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති. නමුත් ජනාධිපතිතුමා ඉක්මනින්ම තීරණයක් ගනීවි. ඒ වගේම දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රීඩා අමැතිවරයෙක්. හරින් ප්‍ර‍නාන්දු මහතා. එතුමාත් හරි තීරණ ගන්න කෙනෙක්. අනිවාර්යෙන්ම ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් පසුව අපිට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි කරන්න පුළුවන් වේවි....”යි යනුවෙන්ද පැවසීය.

මාතෘකා