අයි.සී.සී. ය නිසා අතුරු කමිටුවකුත් බැහැ!

 ඡායාරූපය:

අයි.සී.සී. ය නිසා අතුරු කමිටුවකුත් බැහැ!

නිලවරණය නැත්නම් තහනමක් ගැන බියක්!

අන්තෝ ජටා බහි ජටා

ක්‍රීඩා ඇමැති ජංජාලයක

අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් නියත වශයෙන්ම පෙබරවාරි මාසය තුළ නිලවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පත්කරන ලෙසට කළ නියෝගය හේතුවෙන් ක්‍රිකට් නිලවරණය අත්හිටුවා අතුරු කමිටුවක් පත්කිරීමේ කිසිදු අවකාශයක් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත ඉතිරිවී නැතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ක්‍රිකට් නිලවරණය අන්තර් කාලීන අතුරු පාලනයක් යටතට පත්කර අවශ්‍යම ව්‍යවස්ථා වෙනස්කම් සිදුකිරීම මීට පෙරද ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ උත්සහවී තිබිණි. ඒ සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සමුළු බලධාරීන් හමුවී දැනුම් දීමට ද අමාත්‍යවරයා බලයට පත්වූ සැණින් කටයුතු කළේය. එහෙත් එහිදී අයි.සී.සී. ය ප්‍රකාශ කර තිබුණේ තම විධායක කමිටු රැස්වීමෙන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබාදෙන බවයි. නමුත් දින කීපයකට පසු ඔවුන් දන්වා තිබුණේ කෙසේ හෝ ක්‍රිකට් නිලවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන ලෙසයි. එසේ නොමැතිව කිසිදු අතුරු කමිටු පත්වීමක් තමන් පිළිනොගන්නා බවද ඔවුහු එම තීරණය මගින් කියා සිටියහ.

ඒ අනුව පෙබරවාරි 9 වැනිදාට ප්‍රථම නිලවරණය පවත්වන ලෙසට මීට පෙර කර තිබූ නියෝගය වෙනුවට එය පෙබරවාරි 21 වැනිදා දක්වා දීර්ඝ කිරීම සමඟ තමන් එකඟවන බව අයි.සී.සී. ය පවසනු ලැබිණි. කෙසේ නමුත් අදාළ නිලවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා බාරදුන් අපේක්ෂකයන් අතරින් දෙදෙනකුට මෙවර ක්‍රිකට් නිලවරණය ප්‍රතික්ෂේපවීම හේතුවෙන් යළි අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීමේ වාතාවරණයක් නිර්මාණයවීමත් සමඟ ක්‍රීඩා ඇමැතිවරයා අසීරුතාවයට පත්ව තිබේ.

ජාත්‍යන්තරය සමඟ බැඳී ඇති සංසිද්ධියක් හෙයින් අදාළ නඩුව හැකි ඉක්මනින් විභාග කිරීමට අධිකරණයද කටයුතු කරනු ඇතැයි විශ්වාසය කෙරේ. යම් හෙයකින් අදාළ නඩු විභාගය ප්‍රමාද වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තාවකාලික තහනමක් පැනවීමේ අවදානමක් පවතින බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකිවනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග පැවසීය.

මාතෘකා