විස්සයි 20 තරගාවලි ජය නවසීලන්තයට

 ඡායාරූපය:

විස්සයි 20 තරගාවලි ජය නවසීලන්තයට

නැවත වරක් සාර්ථකවූ නවසීලන්ත ආරම්භක පිතිකරුවන්ගේ සුපිරි දක්ෂතා හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තුන්වැනි විස්සයි 20 තරගයද ලකුණු 4කින් ජයගත් නවසීලන්තය තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.

හැමිල්ටන්හි පැවැති තරයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 212ක් රැස් කරනු ලැබිණි. නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන් ටිම් සීෆර්ට් සහ කොලින් මුන්රෝ පන්දු 46ක් තුල පළමු කඩුල්ල සඳහා ලකුණු 80ක් එක් කිරීමට සමත් වුහ. තරගයේ වීරයා වූ මුන්රෝ හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 72ක් රැස් කළේ ඒ වෙනුවෙන් පන්දු 40ක් පමණක් වැය කරමිනි. සීෆර්ට්ගේ ලකුණු 43 ගලා ආවේ පන්දු 25ක් තුළදීය. හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුළත් විය.

ඉන්දීය පිල වෙනුවෙන් විජේ ශංකර් සහ නායක රෝහිත් ෂර්මා ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල සටනක නිරත වූහ. ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 16ක් ලබා ගැනීමට ඉන්දීය පිලට අවශ්‍ය වූ අතර දිනේෂ් කාර්තික් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කළද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 11ක් පමණි. ටිම් සවුති යැවූ අවසන් පන්දුවාරෙයේ පළමු පන්දු 5 තුලදී ඉන්දීය පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 5ක් පමණි.

මෙම තරගය ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක මහෙන්ද්‍ර සිං දෝනිගේ 300 වැනි විස්සයි 20 තරගය වීමද විශේෂිතය. ඉන් තරග 95ක් ජාත්‍යන්තර තරග වන අතර ඉතිරි තරග 205 පළමු පෙළ තරගවේ.

 

ලකුණු සාරාංශය

නවසීලන්තය (පන්දුවාර 20කදී කඩුලු 4ක් දැවී) 212

(කොලින් මුන්රෝ 72, ටිම් සීෆර්ට් 43, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 30, කුල්දීප් යාදව් 2/26)

ඉන්දියාව (පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී) 208

(විජේ ශංකර් 43, රෝහිත් ෂර්මා 38, දිනේෂ් කාර්තික් නොදැවී 33, ඩැරිල් මිචෙල් 2/27, මිචෙල් සැන්ට්නර් 2/32)

මාතෘකා